වගකීම කරඇරීමේ විපාකය



විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

ඩෙල්ටා ප්‍රබේදය සිව් වැනි රැල්ලක් කරා තල්ලුවේද කියා වූ ජනප්‍රිය සාකච්ඡාව තිබුණේ පසුගිය මාසය මැද භාගයේය. එහිදී ලංකාදීප සාකච්ඡාවටම අදහස් දක්වමින් අප දැක්වූ අදහස වූයේ ඇමෙරිකාව, එංගලන්තය ආදී ගෝලීය උදාහරණ නිරීක්ෂණය කර කල් තියා අවදානම කළමනාකරණයට සූදානම් වීම අත්‍යවශ්‍ය බවය. ප්‍රාමාණික ඇඟවීම්වලට ප්‍රතිපත්ති සම්පාදකයන් කෙතරම් සංවේදී වී ද යන්න අපට නොවැටහේ. එහෙත් ලංකාව රටක් හැටියට දැන් සිටින්නේ ඉතාම තීරණාත්මක තැනක බව කාටවත් බැහැර කළ නොහැකි සත්‍යයකි.

සරලවම කිවහොත් කොරෝනා වසංගතය ආරම්භ වෙද්දී ලංකාව වැටෙනු ඇතැයි කියා අප නොසිතූ තැනකය. මුළු ලෝකය හා සැසඳුව ද ලංකාව පසුවන තත්ත්වය ඒ අනුව අර්ථකථනය කළ හැක්කේ අධිඅවදානම් තත්ත්වයක් කියාය. එන්නත්කරණයට අදාළව අප ලොව බොහෝ රටවල්වලට වඩා වේගය අතින් ඉදිරියෙන් සිටී. එයට අප ස්තුතිවන්ත විය යුතුය. එහෙත් මෙකී එන්නත්කරණයෙන් උපරිම වාසිය ගැනීමට පෙර මෙබඳු අවාසනාවන්ත තත්ත්වයකට පත්වීම ගැන අපි කනගාටු වෙමු. එහෙත් අප මේ මොහොතේ කල්පනා කළ යුත්තේ සිදු වූ දේවල් ගැන සාකච්ඡා කරමින් තවත් පමා වීමට වඩා කළ යුතු දේ ගැනය. මේ උදා වී ඇති තත්ත්වය තුන් වැනි හෝ හතර වැනි රැල්ලක් ද කියා මම දන්නේ නැත. එහෙත් මේ ගලාගෙන යන රැල්ල නතර කිරීමට මේ මොහොතේ දියත් වන එන්නත්කරණයට බැරි බව නම් ඉඳුරා දනිමි. විශේෂයෙන්ම නව ඩෙල්ටා ප්‍රබේදය වේගයෙන් පැතිර යාම හරහා නව ප්‍රබේද බිහිවිය හැකි බවට කළ අනුමාන දැන් ඔප්පු වෙමින් තිබේ.

මේ වසංගත තත්ත්වය තව කොපමණ කලක් පවතීදැයි කිසිවෙක් දන්නේ නැත. එහෙත් මේ එන්නත්කරණයට ඉදිරියේදී එන රැලි නතර කළ හැකිය. එනිසා හැකි සෑම අයකුම එන්නත ලබාගැනීම හොඳය. එහෙත් එන්නත ලබාගත් විගසම එහි ප්‍රතිඵල නොලැබෙන බවත්, අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදුවලට සුපුරුදු පරිදි ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සමගම සඳහන් කිරීම වටී. ලංකාවේ බොහෝ දෙනකුට ලැබෙන්නේ සයිනොෆාම් එන්නතය. එය හොඳ එන්නතකි. කෙසේ වෙතත් සිරුරේ ප්‍රතිශක්තිය සැකැසෙන්නේ දෙවැනි එන්නතත් ලබාගෙන සති දෙකක් තුනක් ගිය පසු බව අපි අමතක කළ යුතු නැත.

එහි අනෙක් අර්ථය වන්නේ පළමු එන්නත ලබාගත් තැනැත්තකු වුව ද සති හතක් පමණ ගතවනතුරු ආරක්ෂිත නැති බවය. ඒ අනුව එවැන්නකුට පවා කොරෝනා රෝගය වැළඳී අසාධ්‍ය විය හැකිය. එසේම ඇතැම්විට ඔහු මගින් වෙනත් පිරිසකට රෝගය බෝ විය හැකිය. ඒ අනුව කොරෝනා මර්දන එන්නත යනු පෙර පරිදි සමාජයේ ජීවත්වීමට දෙන බලපතක් නොවන බව අප තේරුම්ගත යුතුය.

කෙසේ වෙතත් එන්නත ලබාගත් අයට පවා කොරෝනා වයිරසය ආසාදිත වේ. එහෙත් එන්නත නිසා එයින් ආසාදිතයන්ට වන හානිය අවම වේ. සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී ද පැහැදිලි වන්නේ මියගිය බොහෝ දෙනා එන්නත් නොකළ අය බවයි. එන්නතින් මිනිසුන්ට ලබාගත හැක්කේ මොනවා ද නොහැක්කේ මොනවා ද යන්න සමාජය දැනුවත් වීම වටී. විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය තීන්දු ගන්නන්ට ඒ සම්බන්ධයෙන් වූ දැනුමේ වූ යම්කිසි අඩුවක් හෝ ඊට අදාළව ලැබුණු උපදෙස්වල යම්කිසි දුර්වලතාවක් නිසා ලංකාව මේ තත්ත්වයට පත් වී යැයි මට සිතේ. කෙසේ වෙතත් දැන් අපට කළ හැකි මූලික දේවල් දෙකක් තිබේ. පළමුවැන්න නම් සියලුම දෙනා හැකි කවර හෝ තැනකින් එන්නත ලබාගැනීමය. එන්නත් පෝළිමේ දී පවා ඔබට කොරෝනා වැළඳිය හැකි බැවින් එහිදී පවා පරෙස්සම් වීම වැදගත්ය.

ඉදිරියේදී මතුවිය හැකි අනතුර කෙබඳුදැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංවිධාන තීරණ ගන්නන්ටත් ආණ්ඩුවටත් ජනමාධ්‍ය හරහා අවස්ථා ගණනාවකදීම සන්නිවේදනය කළේය. විශේෂයෙන්ම පැවැති සංචරණ සීමා ජුනි මාසයේ 21 වැනිදා ඉවත් කරන විට දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රබේදය වාර්තා වූ තත්ත්වයේදී මෙම තත්ත්වය ගැන අපි කල් තියාම අනතුරු ඇඟවූයෙමු.

ජාතික පුවත්පතක ප්‍රධාන ශීර්ෂය හැටියට ද අපගේ දැනුම්දීම සටහන් විය. අප ඒ සෑම අවස්ථාවකදීම අවදානම සන්නිවේදනයෙන් අදහස් කළේ රාජ්‍ය මහජන සහායෙන් අනතුර වළක්වා ගැනීමය. එහෙත් අප පැතූ පරිදි කටයුතු සිදු වුණේ නැත. එනිසා අද අප සිටින්නේ අතිශය දුෂ්කර මට්ටමකය. මගේ දැනුමේ හැටියට මේ වනවිට අප අවට සිටින බොහෝ දෙනකුට කොරෝනා වයිරසය වැළඳී තිබේ. රට වසා තැබීමකින් පවා ලොකු සහායක් නොලැබෙන තැනට දැන් තත්ත්වය නරක් වී ඇත. එක මරණයක් වුව වළක්වා ගැනීම ශිෂ්ටසම්පන්න ජන සමාජයක වුවමනාවයි.

නිදසුනක් හැටියට මා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හැටියට සේවය කරන වාට්ටුවේ එක දිනක ඇතුළත් වූ රෝගීන් 25 දෙනකුගෙන් 18 දෙනකුටම කොරෝනා වයිරසය වැළඳී තිබිණ. මේ කිසිවෙක් කොරෝනා යැයි සිතා පැමිණි අය නොවූ අතර ඔවුන් රෝගීන් බව හඳුනාගත්තේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙනි. මා මේ කරුණ මෙහි සඳහන් කළේ ඔබ කොතැනක ගියත් දහ පහළොවක පිරිසක් මුණගැසෙද්දී එයින් අඩුම තරමින් පස් හය දෙනකුවත් මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව ඇඟවීමටය.

එනිසා ඔබට කළ හැකි නුවණැතිම දේ වන්නේ මුණගැසෙන සෑම මනුෂ්‍යයකුම කොරෝනා ආසාදිතයකු යැයි සිතා කටයුතු කිරීමය. තමන්ට දැඩි සේ හිතවත් අයකු වුවත් මුව ආවරණයක් නොමැතිව මුණ නොගැසීම මේ මොහොතේ කළ යුතුම ක්‍රියාවකි. අපට දැන් පෙර පරිදි තවත් අයකු සමග සමීපව ආහාර ගැනීමට නොහැකිය. මේ සරල යැයි සිතිය හැකි දේ පවා අවධාරණය කර මෙහි සඳහන් කළේ අප සමාජයක් හැටියට දැන් සිටින අසීරු අඩිය තේරුම් කරවන්නටය. සැබැවින්ම අප දැන් සිටින්නේ අපේ දෛනික කටයුතුවත් කළ හැකි තත්ත්වයක නොවේ. යථාර්ථය පිළිගන්නේ නම් ඉදිරියේදී මේ රටේ විශාල පිරිසක් මියයන බව කීමට අපට සිදු වේ. මේ මියයන විශාල පිරිසෙහි ඔබගේ නෑ සිය මිතුරන් ආදී සමීපතමයන් නිසැකවම සිටිනු ඇත. වසංගතය ආරම්භක සමයේදීත් මිනිසුන් මියයෑම් වාර්තා වුව ද එසේ මියයන පිරිස් බොහෝවිට සමීප අය වූයේ නැත. එනිසා මිනිසුන්ට පොදු සංවේදන හැටියට මිස පෞද්ගලිකව සිදුවීම් සම්බන්ධයෙන් ලොකු කම්පනයක් දැනුණේත් නැත.

එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. සමාජ මාධ්‍යයට එබී බැලුවත් එහි නිරන්තරයෙන් සටහන් වන්නේ දැන හඳුනන පිරිස්වල මරණ දැන්වීම්ය. මේ මරණ දැන්වීම්වලට තමන්ගේ සමීපතමයන්ගේ නම් සටහන් වීම වැළැක්වීමට මේ සමාජයට ගත හැක්කේ එකම පියවරකි. ඒ, තම තමන් පෞද්ගලිකව දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීමය. එහිදී ලොක්ඩවුන් කිරීම යනු හුදු රාජ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාවලියකින් ද ඔබ්බට ගිය ස්වයං විනය මත රැඳී පවතින දෙයක් වී තිබේ. රෝග මර්දනයේදී තෘණමූල මට්ටමේ විශාල සේවයක් කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් ජනතාවට ඉතාම හොඳින් සන්නිවේදනය කරනු පසුගිය දිනවල දැකගත හැකි විය.

එය ඉතාම වටිනා ක්‍රියාවකි. සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල අතර පොඩිපහේ මතභේද පවතින පසුබිමක ඒ සියල්ල අමතක කර මෙම ජාතික ව්‍යසනය මඩින්නට කැපවිය යුතුම බව අවධාරණකටයුතුය.     

විශේෂයෙන්ම රෝහලකට රැගෙන එන රෝගීන්ට සේවා සැපැයීමේදී සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩල අතර පවතින අන්‍යොන්‍ය බැඳීම හා සුහදත්වය ඉතාම බලපායි. ආණ්ඩු යනු කලින් කලට පවතින මැතිවරණවලින් වෙනස් වන ව්‍යුහයකි. ආණ්ඩු වෙනස් වනවිට තීරණ ද වෙනස් විය හැකිය. එහෙත් පෞද්ගලිකව ගත් කල ජීවිතවල ආරක්ෂාව සහතික කරගැනීමට සෑම මනුෂ්‍යයකුටම වගකීමක් ද වේ.

වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් වූ ගෝලීය පුරෝකථන සමග රටවල් අවශ්‍ය තරමින් සංවේදී වී ක්‍රියා කිරීම වැදගත්ය. එම පුරෝකථනවලට අවශ්‍ය තරමින් සංවේදී නොවීමේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිමින් සිටිමු. ඒ අනුව මේ ගෙවී යන්නේ ඉතාම භයානක කාලයකි. එනිසා තමන්ගේත් සමීපතමයන්ගේත් ආරක්ෂාවට මේ කාලය තීරණාත්මක බව යළි යළිත් සිහිකටයුතුය. නිදසුනකට ඔබ පවුලේ ගෘහමූලිකයා නම් ඔබේ ඇසුරේ මවුපිය වැඩිහිටියකු රැකවරණය ලබන්නේ නම් සේවා ස්ථානයට අසාධාරණයක් නොවන අයුරින් නිවාඩු ලබාගෙන හෝ ජීවිත රැකගැනීමට ඔබට වගකීමක් ඇත. වෛද්‍යවරයකු හැටියට මේ අදහස මා ප්‍රවර්ධනය නොකරන නමුත් මේ අවස්ථාවේ එවැන්නක් සඳහන් කරන්නේ කෙටියෙන්ම කිවහොත් මෙය ‘සෙල්ලමක් නොවේ’ ය යන්න සන්නිවේදනය කිරීමටය.

විශේෂයෙන්ම මේ වනවිට කොරෝනා පැතිරෙන්නට අවශ්‍ය ප්‍රධාන සාධකයක් හැටියට සංවෘත පරිසරය හඳුනාගෙන තිබේ. එනිසා මුව ආවරණ පැළඳීම, අත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අමතරව යහපත් වාතාශ්‍රය ද සිව් වැනි කරුණක් ලෙස එකතු කරගැනීම කළ යුතු වේ. එහිදී ඔබට යමෙකු මුණගැසෙනවා නම් හොඳම තැන එළිමහනකි. කන්තෝරු කාමරවල වායුසමීකරණය කරන ලද පරිසරය යනු අතිශය භයානක පරිසරයකි. එනිසා එවැනි සංවෘත පරිසර දොර කවුළු විවර කර විවෘත පරිසරයක් බවට පත්කරගැනීමට කටයුතු කිරීම වටී.

කොරෝනා සම්බන්ධ සාකච්ඡාවේදී ඇතැමුන් සිතන දෙයක් වන්නේ තමා හොඳ දැනුවත් අයකු බවය. සැබෑය. එය වීමට පුළුවන. එහෙත් වයිරසය වැළඳී මියගිය අය අතර එසේ හොඳින් දැනුවත් මිනිසුන් ද සිටින බව ඔබ දැනගත යුතුය. කොතරම් දැනුවත් වුව ද අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු නොසලකා හැරීම මරණයට කරන අතවැනීමක් වනු ඇත. රජය ලොක්ඩවුන් කිරීමේ තීන්දුව ගැනීමටත් පෙර සිටම ඇතැම් ප්‍රදේශවල වෙළෙඳ සංගම් ආදී සංවිධාන එක්ව ජන ඒකරාශි වීම් නතර කිරීමේ අරමුණෙන් ස්වයං වසා තැබීම්වලට තීන්දු ගනු දැකිය හැකි විය. ආදර්ශයක් වශයෙන් එම උත්සාහ කිරීම් සැබැවින්ම ප්‍රශස්තය. මන්දයත් තවත් කෙනකුට චෝදනා කරනවාට වඩා වැඩි දෙයක් සෑම අයකුටම මේ ව්‍යසනකාරී මොහොතේ පෞද්ගලිකව කළ හැකි බව තේරුම් ගැනීමට එවැනි දේ ප්‍රයෝජනවත් නිසාය.
තීන්දු තීරණ කුමක් වුව ද ඒවා ගන්නන් අතර විවිධ අදහස් තිබිය හැකි වුව ද ජීවිත සම්බන්ධයෙන් අප සෑම දෙනාටම වගකීමක් තිබේ. එහෙයින් අවසාන මොහොතේ මා නැවතත් අවධාරණය කරන්නේ ඔබට මුණගැසෙන සෑම අයකුම කොරෝනා අසාදිතයකු යැයි උපකල්පනය කරගෙන පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරගන්නැයි කියාය. එය වනාහි වෛද්‍යවරුන් හැටියට අපට මේ මොහොතේ දිය හැකි ඉහළම උපදේශයයි.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)