මෙකල මරණය සුලභය. සමීපතමයකුගේ මරණය සම්බන්ධ පුවතක් නොඅසා ගෙවා දැමූ දවසක් නොමැති තරම්ය. මරණය එතරම්ම සුලභ වූ යුගයක වුවද එක්තරා මරණයක් සම්බන්ධව අනුවේදනීය ආරංචියකින් මම බෙහෙවින් සසලවීමි. මරණයක් සම්බන්ධ ආරංචියකින් මා මෙතරම් සසල වූ අවස්ථාවක් මට මතක නැති තරම්ය. මා හද සසල කළ මරණය සම්බන්ධවූ එපුවත එල්මෝ ගුණරත්න මහතා සම්බන්ධයෙනි. එපුවත මට ලැබුණේ සෙනසුරාදා පෙරවරුවේදීය.
මම අද ‘‘ඉරිදා ලංකාදීප’’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වෙමි. ඒසා දුර බැහැර ගමනක් මට ඒමට හැකිවූයේ එල්මෝ ගුණරත්න මහතා නිසා බව අපමණ කෘතවේදීත්වයෙන් යුතුව පළමුව මෙහි සටහන් කර තබමි. එතුමන්ගේ උපදෙස් හා ආශීර්වාදය නොවන්නට මෙබඳු ගමනක් මට සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබිණි.
මා පුවත්පත් කලාවට සම්බන්ධ වූයේ 1970 දශකයේ අගභාගයේ පමණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ ශ්‍රී ලංකාදීප පුවත්පත හරහාය. පොල්ගහවෙල වැනි කොළඹින් දුර බැහැර පෙදෙසින් පැමිණි අප වැනි පත්තරකාරයන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. නිදහස් මාධ්‍යවේදීන් වූ අපට කර්තෘ මණ්ඩලයට ඇතුල්වීමට පවා අවකාශයක් නොවීය. අප ලියාගෙන පැමිණි ප්‍රවෘත්ති විශේෂාංග පිළිගැනීමේ කවුන්ටරයට ලබාදී යාමට අපට සිදුවිය. ගමෙන් පැමිණි තරුණ පත්තරකාරයන්වූ අපට ඉංග්‍රීසි උගත් ටයිකෝට් පළඳින කොළඹ මහත්වරුන්ගේ පිළිගැනුම එපරිදි විය. එල්මෝ ගුණරත්න නම් කර්තෘවරයා අපට සුවිශේෂී වන්නේ එවන් පසුබිමකය.
සම්පූර්ණ යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි ප්‍රධාන කර්තෘවරයා වූ එල්මෝ ගුණරත්න මහතා ගමෙන් පැමිණි අපට සෙනෙහෙබර පියෙක් විය. දයානුකම්පාවෙන් අප දෙස බැලුවේය. ‘‘කොල්ලට හොඳ අනාගතයක් තියෙනවා. හරි විදියට යන්’’ එතුමා නිතරම කීවේය. දක්ෂයාට තැන දීමට එතුමා පැකිළුනේ නැත. එමෙන්ම දක්ෂයා හඳුනා ගැනීමට වැඩි කාලයක් ගත්තේද නැත. අපට මේසා දුරක් ඒමට හැකි වූයේ ඒ නිසාය. එතුමාගේ මරණය සම්බන්ධයෙන් මගේ සිත මෙතරම්ම සසල වී තිබෙන්නේද එහෙයිනි.
මා ශ්‍රී ලංකාදිපයේ කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීමේදී ද අපූරු සිදුවීමක් විය. ඒ වනවිට ටයිම්ස් ආයතනය රජයේ නිසි බලධාරියකු යටතට පත්කර තිබිණි. මා කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීමට නම් ඇමැතිවරයකුගේ ලිපියක් අවශ්‍ය බව එල්මෝ ගුණරත්න මහතා මට පැවසීය. එවැනි කිසිදු කෙනෙකු හඳුනන්නේ නැති බව මම කීවෙමි. සත්‍යම තත්ත්වය එය විය. එහෙත් රජයේ ආයතනයක් වූ ටයිම්ස් ආයතනයට බැඳීමට නම් ඇමැතිවරයකුගේ ලිපියක් අවශ්‍යම විය.
එකල කුරුණෑගල දිසා ඇමැති වශයෙන් සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය. මම ඒ මහතා හමුවී අවශ්‍යතාව සැළකර සිටියෙමි. ඒ මහතා මට ලිපියක් දුන්නේය. ඒ එක් කොන්දේසියකට යටත්වය. එනම් තමන් මෙසේ ලිපියක් දුන් බව පොල්ගහවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රංජන් ජයකොඩි මහතාට කිසිම ලෙසකින් ආරංචි වීමට ඉඩ නොතබන ලෙස දැනුම් දෙමින්ය. මා ටයිම්ස් ආයතනයේ ශ්‍රී ලංකාදීප කර්තෘ මණ්ඩලයට එක් වූයේ ඒ අනුවය.
80 දශකයේ මුල් භාගයේදීම ටයිම්ස් ආයතනය වසා දැමුණි. එම ආයතනයෙන් පළකළ ප්‍රකාශනවල අයිතිය විජය පුවත්පත් ආයතනය නිල වශයෙන් හිමි කර ගත්තේය. එම බැරෑරුම් කටයුත්තේදී එල්මෝ ගුණරත්න මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. අද ලංකාද්වීපයම දිග් විජය කිරීමට සමත් පුවත්පත් ආයතනයක් බවට ලංකාදීපය පත්වී තිබේ. මෙම අතීත සැමරුම් මේ මොහොතේ හිතට බර වැඩිය.
විජය පුවත්පත් සමාගමට සම්බන්ධවීමේ අවශ්‍යතාව මට ඇති විය. ‘ඉතාම දක්ෂයෙක්. මොහු බඳවා ගන්න’ යනුවෙන් විජය පුවත්පත් සමාගමට ලිපියක් එවීමට තරම් එතුමා කාරුණික විය. මගේ පත්තර කලා ජීවිතයේ මහා රූපකායක්, පෞරුෂයක් වුවද ඇතැම් සන්ධ්‍යාවකදී ‘‘මචං දොඹේ’’ යැයි කීමට තරමට එතුමා අපගේ ජීවිතවලට සමිප විය.
විශේෂයෙන් සඳහන් කිරීමට යමක් තිබේ. එතුමාගේ මරණය සම්බන්ධ ප්‍රවෘත්තිය ඇසීමෙන් දෙටු පුත් දමිත ගුණරත්න ද අභාවප්‍රාප්ත වී තිබේ. දමිතද අප සමග සෑහෙන කලක් පත්තර රස්සාවෙම නිරත විය. අනෙක් පුතු තුෂාර ගුණරත්නද ඉරිදා ලංකාදීපයේ නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් සේවය කළේය.
ජීවිතය යනු හමුවීම් හා වෙන්වීම්ය. හමුවන සියල්ලෝම හදවතේ ලැගුම් නොගනිති. එසේ ලැගුම් ගත් සහෘදයන් වෙන්වීම දරාගත නොහැකිය. එල්මෝ ගුණරත්නයන්ගේ මෙන්ම, දමිත් ගුණරත්නයන්ගේ වෙන්වීම් ඉදිරිපිට අප මෙතරම්ම සසලව සිටින්නේ එහෙයිනි. එහෙත් ජීවිතය මෙයය. අප එයට මුහුණ දිය යුතුය.
සහෘදයෙනි. ඔබලාට නිවන් සුව.
(***)
ආරියනන්ද දොඹගහවත්ත