ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක


ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් විය. ඒ අනුව, ණය ගෙවීම පැහැර හරින බව ප්‍රකාශයට පත් කර මේ වෙන විට වසර දෙකක කාලයක් ඉක්ම ගොස් තිබේ. එසේම ආසියානු කලාපයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ පළමු රට බවට ද ශ්‍රී ලංකාව පත් විය.

එපරිදි බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට පෙර පවා අපේ ආර්ථික කටයුතු අඩාල වෙමින් තිබිණි. ඒ අනුව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව අඛණ්ඩව පහළට වැටිණි. එහි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් ණය ලබා ගැනීම අසීරු තත්ත්වයකට පත් විය. එසේ වෙද්දීත් එවක ආර්ථිකය හැසිර වූ අය එම ශ්‍රේණිගත කිරීම්වලට විරුද්ධව විවිධ තර්ක විතර්ක ගෙන ආහ. එහෙත් ආර්ථිකය නිවැරැදි කරන්නට පියවර නොගත්තෝය. මෙනයින් අප බංකොලොත්භාවයට පත්වුණේ නොදැන නොවේ. එය දැනගෙන පැමිණි ගමනකි.

බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ විදේශ විනිමය හිඟයයි. එනම්, ඩොලර් නැතිකමයි. ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන තිස් ගාණකි. එය විශාල ප්‍රමාණයක් නොවේ. ඊට වඩා වත්කම් සහිත තනි පුද්ගලයෝ ලෝකයේ සිටිති. සමාගම් ද ඇත. ඒලෝන් මස්ක් යනු ලෝකයේ සිටින ධනපතියෙකි. ඔහු ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත්තේ ඩොලර් බිලියන 44 ක් වැය කරමිනි. මගේ මතය අනුව, ශ්‍රී ලංකාව ලජ්ජා විය යුතුය. මන්ද, ඩොලර් බිලියන තිස් ගාණක විදේශ ණය ප්‍රමාණයක් ගෙවා ගත නොහැකිව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ නිසාය. එසේ බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇති වූ ප්‍රතිවිපාක අපි අත්වින්දෙමු. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සිදු කිරීමට නොහැකි වූයේ ද එහි ප්‍රතිඵලයක් ලෙසය. වසරකට අවශ්‍ය භාණ්ඩ ආනයන ඩොලර් බිලියන 20 ක පමණ මුදලක් වැය වේ. ඒ මුදල සොයා ගත නොහැකි වූ හෙයින් 2022 වසරේදී ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩවල දැවැන්ත හිඟයක් ඇති විය. එහි බරපතළකම එතකින් නතර වූයේ නැත. ශ්‍රී ලංකාවට ව්‍යාපෘති ණය ලබා දුන් බහුපාර්ශ්වීය ආයතන එම ව්‍යාපෘති අත්හිටුවීමට ද කටයුතු කළේය. එපරිදි ව්‍යාපෘති නතර කළ විට ඒවායෙහි සේවය කළ අයට රැකියා අහිමි විය. එසේම එය ආර්ථික වර්ධන වේගය දුර්වල කිරීමට ද බලපෑවේය.

ශ්‍රී ලංකාවේ බැංකු නිකුත් කරන ණයවර ලිපි නොපිළිගන්න තත්ත්වයක් ද උද්ගත විය. ඒත් සමග ශ්‍රී ලාංකිකයන්ට විදේශ රටවල් සමග ගනුදෙනු කිරීමත් දුෂ්කර තත්ත්වයට පත් විය. දේශීය හා ජාත්‍යන්තර ආර්ථික කටයුතු කඩාවැටී ආර්ථිකය හැකිලිණි.

විදේශ ණය ගෙවීම තාවකාලිකව නතර කර ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කර මේ වෙන විට වසර දෙකක කාලයක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කිරීමට හැකි වී නැත. එසේවුවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (දේශීය ණය ප්‍රශස්තකරණය) අවසන් කර ගැනීමට හැකි විය. විදේශීය ණය ගතහොත් බහුපාර්ශ්වීය, ද්වීපාර්ශ්වීය සහ වාණිජ වශයෙන් කොටස් තුනක් තිබේ. මෙරට මුළු විදේශ ණයවලින් ඩොලර් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් බහුපාර්ශ්වීය ණය වෙන අතර ඒවා ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වෙන්නේ නැත. ද්වීපාර්ශ්වීය ණය යනු ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවලින් ලබා ගත් ණයයි. එම ණයවල සමස්ත වටිනාකමද ඩොලර් බිලියන 10 කට අධිකය. ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ මෙම ද්වීපාර්ශ්වීය ණය හිමි රටවල් හා පැරිස් සමාජය නියෝජනය කරන කමිටුව සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වමින් සිටියි. චීනය, පැරිස් සමාජය නියෝජනය නොකරන රටක් හෙයින් චීනයෙන් ලබා ගත් ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එරට සමග වෙනම සාකච්ඡා පැවැත්වීමට සිදු විණි. මා දකින හැටියට අපට මේ දක්වා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට නොහැකි වී තිබෙන්නේ එම ක්‍රියාවලියේ ඇති යම් යම් ප්‍රමාද නිසාය.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වුව පවතින්නේ ප්‍රමාදයන්ය. ඩොලර් බිලියන 14 ක් පමණ වෙන වාණිජ ණයවලට අයත් වෙන්නේ විදේශීය බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ විවිධ අරමුදල්ය. මේ ණය පෞද්ගලික ණය ලෙස හඳුන්වන්නේ ඒවාට රජයක මැදිහත්වීමක් නොමැති නිසාය. එසේම එවැනි ආයතන හා අරමුදල් විශාල ප්‍රමාණයක් තිබීමට පිළිවන.  ඒ ණය ගැන සාකච්ඡා කිරීමට වාණිජ ණය හිමියන් රැස් විය යුතුය. ඔවුහු නිතර රැස් නොවෙති.  එබැවින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කාලය ගත වෙන ක්‍රියාවලියක් බව මගේ අදහසයි. පාර්ශ්වකරුවන් විශාල ප්‍රමාණයක් සිටින නිසා සියලු දෙනාගේ අනුමතය සහිත එකඟතාවකට පැමිණීම සිතන තරම් පහසු නැත.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ආකාර කිහිපයකට සිදු කළ හැකිය. ණය ගෙවීම ආරම්භ කිරීමට යම් සහන කාලයක් (grace period) ලබා දීමට ණය හිමියන් එකඟ වීමට පිළිවන. මෙවැනි සහන ද්වීපාර්ශ්වීය ණය සඳහා වසර 6 ක් වැනි කාලයකට වෙනත් රටවලට ලැබී ඇත. දෙවැනි සහනය යටතේ ණය ගෙවීමේ කාලය දිගු කිරීමට ණය හිමියන් කැමැත්ත පළ කිරීමට ද පුළුවන. බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට පෙර අපි වාර්ෂිකව ඩොලර් බිලියන 5 ත් 6 ත් අතර මුදලක් විදේශ ණය හා පොලී වාරික ගෙවීමට වෙන් කළෙමු. ඒවා ගෙවිය යුතු කාලය දීර්ඝ කර ගෙන ගෙවිය යුතු එම මුදල හරි අඩකින් පමණ අඩු කර ගත හැකිය. තුන්වැනි සහනය යටතේ ණයවල හෝ පොලියෙහි හෝ කෙටසක් කපා හැරීම (haircut) ට ණය හිමියන් එකඟතාව පළ කිරීමට ඉඩ ඇත. අපට සියයට 25 සිට සියයට 40 දක්වා වූ පරාසයක ණය කප්පාදුවක් ලබා ගත හැකි වුවහොත් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය අඩු කර ගැනීමට ඉඩ ලැබේ. කවර සහනයක් ලබා දීමට වුවත් ණය හිමියන් එකඟවේද යන්න නිශ්චිතව කිව නොහැකිය. අපේ බැඳුම්කරවල වෙළෙඳපොළ වටිනාකම පහත වැටී ඇති බැවින් මෙය පහසු කටයුත්තක් නොවන බව කිව යුතුය.

රටේ ආර්ථිකය තිබෙන්නේ අස්ථාවර තත්වයකය. වරක් ණය අර්බුදවලට මුහුණ දුන් රටවල් නැවත ඒ තත්ත්වයට පත් වූ උදාහරණ අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු කලාපයෙන් සපයා ගත හැකිය. ශ්‍රී ලංකාවත් ඒ තත්ත්වයට පත් වීමේ අවදානමක් තිබේ. ඉදිරියේදී ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට නියමිත හෙයින් ඒවා සමග ආර්ථික කටයුතු පටලවා ගැනීමට ඉඩ ඇත. එවැනි සන්දර්භයක ශ්‍රී ලංකාව නැවත වතාවක් ණය අර්බුදයකට මැදි වීමට ඇති ඉඩ ඉහළ බව මගේ අදහසයි. එයට හේතුව රට වැටී ඇති ආර්ථික අහේනිය අමතක කර සමහරුන් බලය ලබා ගැනීම ගැන පමණක් කල්පනා කරන නිසාය. ඇතැම්හු බලයේ රැඳී සිටීම ගැන පමණක් සිතති. මේ ආකාරයේ බල අරගලයක් හමුවේ රටත් ආර්ථිකයත් නැවත අර්බුදයකට ඇද වැටීම පිළිබඳව දේශපාලන නායකයන් හා ජනතාව ගැඹුරු අවබෝධයක ඉන්නා බවක් නොපෙනේ. මා දකින හැටියට ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයේ ඇති බරපතළම අර්බුදයත් මෙයයි.

රට නැවත ආර්ථික වශයෙන් කඩා වැටුණහොත් වැටෙන්නේ සිටි තත්වයටත් වඩා දරුණු අගාධයකටය. එබැවින් කවර ආණ්ඩුවක් හා නායකයකු බලයට පත් වුවත් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත කරගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් හා කඩිනම් කිරීම හැර වෙනත් විකල්පයක් නැත.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර යළි විදේශ ණය ගෙවීමට සිදු වුවහොත් එයට ප්‍රමාණවත් වෙන පරිදි විදේශ විනිමය ශක්තිමත් කරගෙන නොමැත. ඊට අවැසි ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන ඇති බවක් නොපෙනේ. සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීමෙන් එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල සාර්ථකත්වයක් බව නොහැඟේ. සංචාරකයන් ලංකාවට එන්නේ රටේ සොබාදහම හා ඓතිහාසික වටිනාකම් දැක බලා ගැනීමට විනා ආණ්ඩුව සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ගොඩනැගූ දේවල් නැරඹීමට නොවේ. සත්‍යවශයෙන්ම මෙරට ආණ්ඩු ලෝකයේ වෙනත් රටවල් කර ඇති පරිදි එවැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉදිකර ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. සොබාදහම හා ඓතිහාසික වටිනාකම් සංචාරකයන්ට විකුණමින් අපි ඩොලර් උපයමින් සිටිමු.

අවශේෂ ලෝකයාට විකුණන්නේ මොනවාද නැතිනම් අපනයන ප්‍රවර්ධනය පැත්තෙන් අප මෙතෙක් සාර්ථක ප්‍රගතියක් ලබා නොමැත. ඒවා සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටියද සමහර කොටස් ඒවාට විරුද්ධව උද්ඝෝෂණය කරති. එලෙස උද්ඝෝෂණය කරන්නේ රටේ අනාගතයට විරුද්ධව බව එම උද්ඝෝෂකයන් වටහා ගත යුතුය. මේ සියලු තත්ත්ව මැතිවරණවලට තරග කරන අය මෙන්ම ඡන්දදායකයන් වෙන ජනතාවත් තේරුම් ගත යුතුය. එසේ නොවුණහොත් ඉදිරියේදී අපට මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනු ඇත.

 

(*** සාකච්ඡා සටහන: උපුල් වික්‍රමසිංහ)