ජපනුන්ට නැටුම් ඉගැන් වූ ලංකාවේ සූරසේන


ලංකාවේ වෙස් මුහුණු සටන

 

ජපානයේ සදෝගා දූපතේ ජීවත්වන ජනතාව අතර මෙරට පහත රට නර්තන කලාවට සමාන ආකාරයට වෙස් මුහුණු පැලඳ ඉදිරිපත් කරන නොනමැති අපූරු නර්තන කලාවක් දැකගත හැකිය. එවන් අපූරු නර්තන කලාවකට උරුමකම් කියන සදෝගා දූපතේ නගර ශාලාවේ මේ වන විට උඩරට වෙස් නැටුමත් බෙර හඬත් රැව් පිළිරැව් දෙමින් තිබේ. ඒ එම දූපතට මෙරට කෘතහස්ත වෙස් නැටුම් ශිල්පියෙකු වන සුසන්ත සූරසේන මහතා පය තැබීමත් සමගිනි.   


සදෝගා දූපතේ ඉතිහාසය ගැනත් ඔවුන්ගේ මෙරටට සමාන නැටුම් ශිල්පය ගැනත් කතා කිරීමට පෙර සුසන්ත සූරසේන යනු කවරෙකු දැයි හඳුනා ගැනීම වැදගත් වේ.   

 

සුසන්ත සූරසේන යනු කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර දශක හතකට ආසන්න කාලයක් වෙස් නැටුමෙන් ආලෝකමත් කළ  පීටර් සූරසේන කලා ශිල්පියාගේ වැඩිමහල් පුතණුවන්ය. ඔහු ද ඔහුගේ පියාගේ අඩි පාරේ යමින් වසර 25 කට ආසන්න කාලයක් ජපානයේ රැඳෙමින් උඩරට වෙස් නැටුම් කලාව ජපන් ජාතිකයන් අතර ප්‍රචලිත කිරීමේ මෙහෙවරක යෙදී සිටියි. පීටර් සූරසේන කලා ශිල්පියා ද ඔහුගේ තරුණ අවධියේ විදේශ රටවල් 20ක ට වැඩි ප්‍රමාණයක සංචාරය කරමින් උඩරට වෙස් නැටුම් ඉදිරිපත් කොට එම රටවල ජනතාව වසඟයට ගත් කලාකරුවෙකි. එසේම ඔහු ජනාධිපති සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්නකු ද වේ. රජයේ පාසල් නැටුම් ගුරුවරයකු වූ ඒ මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වෙයි.   


ඔහුගේ පුතුන් තිදෙනා වන සුසන්ත, ජනක සහ නිලන්ත වසර 25 කට ආසන්න කාලයක් ​ඓතිහාසික ඇසළ පෙරහරේ දළදා මාලිගාවේ වෙස් නැටුම් ශිල්පීන් වශයෙන් කටයුතු කරන අතර ඔවුන් සියලු‍ දෙනා ජනාධිපති සම්මාන ලාභීන් ය . ජපානයේ රැඳී සිටින සුසන්ත සූරසේන ජපානයේ පාසල් පෙළ පොතේ විෂය නිර්දේශයට උඩරට නර්තන කලාව ඇතුළත් කිරීමට මූලික වී කටයුතු කළ අයෙකි.   


සදෝගා දූපත ජපානයේ නීගතා ප්‍රාන්තයට අයත් එරට දෙවැනි විශාලතම දූපත වේ. එම ප්‍රාන්තයේ සිට පැය දෙකක නැව් ගමනකින් පසු සදෝගා දූපතට ළඟා වූ සුසන්ත සූරසේනට මළ හිරු බැස යන මොහොත වන විට එම දූපතේ විවිධ ස්ථාන වලින් නුහුරු නුපුරුදු බෙර හඬ ඇසෙන්නට විය. දින කිහිපයක් ඒ පිළිබඳව නිරීක්ෂණය කළ ඔහු තමා සතුව තිබූ උඩරට සම්ප්‍රදායේ බෙරයක් ගෙන බෙර පද කිහිපයක් වයන්නට විය. එම බෙර හඬට වශී වූ ඒ අවට වැසියන් එම බෙර පද පිළිබඳව තොරතෝංචියක් නොමැතිව විමසන්නට වූයේ ඔවුන්ගේ ඇඟේ ද එම කලාව වෙනත් ආකාරයකින් පිහිටා තිබූ බැවිනි.   


කෙසේ නමුත් එම බෙර පද පිළිබඳවත් උඩරට වෙස් නැටුම පිළිබඳවත් තොරතුරු දූපත පුරා පැතිරයාමත් සමඟ එම නගරයේ නගර ශාලාවේ ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු භාර ප්‍රධානියා සුසන්ත සූරසේන මහතා හමුවී උඩරට වෙස් නැටුම් සහ බෙර පද ඉදිරිපත් කිරීමට අවසර ලබාදීමෙන් පසු මේ වන විට එහි නගර ශාලාවේ එම කටයුත්ත සිදු වෙමින් පවතින්නේ එම දූපතේ ජනතාව විස්මයට පත් කරවමිනි. ශ්‍රී ලංකාව පිළිබඳව නමක් හෝ අසා නොතිබුණ සිලොන් තේ ගැන පමණක් දැනගෙන සිටි එම දූපතේ වැසියන් උඩරට නර්තනයට වහ වැටී සිටී. 

 
එම දූපතේ 55,000 ක් වූ ජනතාවක් අපූරු ඉතිහාසයකට උරුමකම් කියයි. අපගේ පහත රට නර්තන කලාවට සමාන ඔවුන්ගේ නර්තන කලාව ද එම ඉතිහාසය හා බැඳී තිබේ. එම දූපතේ ඉතිහාසය පිළිබඳ දැන උගත් අයගෙන් ලබා ගත් කරුණු අනුව සුසන්ත පවසන්නේ මෙවැනි කතාවකි.   

 


ක්‍රිස්තු වර්ෂ 1200 - 1500 අතර කාලයේ පැවැති කමෝකුරුවරුන්ගෙ රාජ්‍ය පාලන අවධියේ ඇති වූ යුද්ධයකින් සමුරායිවරුන් ජය ගැනීමෙන් පසු එවකට රාජ්‍ය පාලනයේ සිටි ජූම්තකු ජෙකෝ සදෝගා දූපතටත් ඔහුගේ පියා ෂිමානේ දූපතටත් බාප්පා ෂිකොකු දූපතටත් රජුගේ නියමයෙන් පිටුවහල් කොට තිබේ. එම පාලකයන් සමග සදෝගා දූපතට පිටුවහල් කෙරුණ බහුතර පිරිසක් දැනට එම දූපතේ පවතින නෝ නමැති නර්තන කලාවට සම්බන්ධ අය වෙති. මෙම දූපතේ මේ වන විට ජීවත්වන සියලු‍ දෙනා එසේ පිටුවහල් කළ පිරිසෙන් පැවත එන්නෝ බව කියති. මීට සමගාමීව මෙම නො නැමැති නර්තන කලාව ද පැවත එන්නකි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ වී වගාව, එළවළු වගාව, පලතුරු වගාව සහ ධීවර කර්මාන්තයයි.   


ඔවුන් එම ගොවිතැන් කටයුතු සහ ධීවර කර්මාන්තයේ යෙදී සිටියත් ඔවුන් සිටගෙන සිටින්නේ දැවැන්ත රන් ආකරයක බව ඔවුන් කිසිසේත් නොසිතන්නට ඇති. නමුත් පසුකාලීනව එදෝ අධිරාජ්‍ය සමයේ දී නොකුගාවා රජතුමා යටතේ ජපානෙන් සොයා ගන්නා ලද විශාලතම රන් නිධිය මෙම දූපතෙන් සොයා ගන්නා ලදී. එසේ රන් නිධි සොයා ගත්තත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව වෙනස් කිරීමට සදෝගා දුපතේ ජනතාව කැමති වූ බවක් පෙනෙන්නට නැත. ඔවුන් දිනපතා වගා කටයුතුවල මෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙති. ඔවුන්ගේ සියලු‍ වගා කටයුතු සිදු කරනු ලබන්නේ කාබනික පොහොරවලින් බව ද සුසන්ත මෙනෙහි කරයි. ඔවුන්ට අවශ්‍ය සියලු‍ කාබනික පොහොර ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් සකසා ගන්නා බව ද කියයි. එසේම මෙම දූපත කිසිසේත්ම නවීන ලෝකය සමඟ නවීරකණයට ගොදුරු වූ දූපතක් නොවීම ද විශේෂිතයි. ශ්‍රී ලංකාවේ 70 දශකයට පෙර දක්නට ලැබුණු ඕල්ඩ් සිලෝන් සොබා සෞන්දර්ය එම දූපතේ දී විඳගත හැකි බව ද සුසන්ත කියයි. මේ වන විට එම දූපත සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී ගොස් තිබුණත් මාර්තු මාසයේ මැද වන විට හිරු රැස් පතිත වීමත් සමඟ එම දූපතේ වසන්ත සමය උදාවීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන්ගේ නො නර්තන කලාව එම දූපත පුරා රැව් පිළිරැව් දෙන බවත් ඒ අතර අහම්බෙන් ඔවුන් වැලඳගත් උඩරට නර්තන කලාව ද ඔවුන්ගේ වේදිකා තුළින් දැකගත හැකි වනු ඇති බවත් අවසන් වශයෙන් සුසන්ත සූරසේන පවසා සිටියේය.

 

 

සටහන : ෂේන් සෙනෙවිරත්න