එදා - මෙදා දේශපාලන විවාද


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ නායකයන් එකිනෙකාට අභියෝග කර ගත්ත ද පක්ෂ දෙකේ නායකයන් තුළ ඒ පිළිබඳව එක්තරා ආකාරයකට පැකිළීමක් ඇති බව ද පෙනෙන්නට තිබේ.

ව්‍යවස්ථානුකූලව මේ වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයකි. එසේම සමගි ජන බලවේගය එම ජනාධිපතිවරණය සිය අපේක්ෂකයා වශයෙන් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කොට තිබේ. එසේ වුව ද එම පක්ෂය සිය නායකයා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග ද්වන්දව විවාදයකට යොමු කිරීමට පැකිළෙන බවත් පෙනෙන්නට තිබේ. ඒ ඔවුන් ඒ වෙනුවට පක්ෂ දෙකේ ආර්ථික  කමිටුවල සාමාජිකයන් අතර විවාදයක් පැවැත්විය යුතුය යන්නට වැඩි බරක් තබා අදහස් ප්‍රකාශ කරන හෙයිනි. එවැනි විවාදයක දී තම කණ්ඩායම ජාතික ජනබලවේගයේ කණ්ඩායමට වඩා කැපී පෙනෙනු ඇතැයි ඔවුන් දැඩි විශ්වාසයක සිටින බවද පෙනෙන්නට තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා බොහෝ අවස්ථාවල දී අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කර ගන්නේ නැතිව තමන් මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟීම පිළිබඳව ඕනෑම කෙනකු සමග විවාදයකට සූදානම් බව විවිධ තැන්වල දී පවසයි. ඒ සමගම ඔහු බලයක් නැතිව වුවද ජනතාවට සේවය කිරීම විවාදයකට වඩා වැදගත් යැයි හැඟෙන ආකාරයට අදහස් පළ කරමින් නායකයන් දෙදෙනා අතර විවාදයේ අවශ්‍යතාව පහතට ඇද දමයි.

අනෙක් අතට තම පක්ෂයේ නායකයා හා සමගි ජන බලවේගයේ නායකයා අතර කෙරෙන විවාදයක ප්‍රතිඵල පිළිබඳ දැඩි විශ්වාසයකින් අදහස් පළ කරන ජාතික ජන බලවේගයේ නාකයෝ පැවැත්විය යුත්තේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු සාමාජිකයන් අතර විවාදයක් නොව පක්ෂ දෙකේ නායකයන් අතර විවාදයකැයි තර්ක කරති. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන කරුණු තර්කානුකූල බව පෙනුණ ද ඔවුන්ගේ ස්ථාවරය තුළ ආර්ථික කමිටු දෙක අතර විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් එක්තරා පැකිළීමක් පිළිබඳ ඉඟියක් ද අපට දැනේ.

ඔවුන් පවසන්නේ මුලින්ම මතු වූයේ පක්ෂ දෙකේ නායකයන් අතර විවාදයක් පිළිබඳ අදහස බවයි. අපගේ මතකය අනුව ද එය සැබෑවකි. තම පක්ෂයේ නායකයා සමඟි ජන බලවේගයේ නායකයාට මෙවැනි අභියෝගයක් කළේ පසුගිය ජනවාරි මාසයේ බවද ජාතික ජන බලවේගයේ නායකයෝ පවසති. පසුව මෑතක දී ඉදිරිපත් වූ ආර්ථික කමිටු දෙකේ විවාදයට වැඩි වැදගත්කමක් දෙමින් සමඟි ජන බලවේගය නායකයන් දෙදෙනා අතර විවාදය මඟහරින්නට උත්සාහ කරන බවට ද ඔවුහු චෝදනා කරති.

කෙසේ වෙතත් නායකයන් දෙදෙනා අතර විවාදයකට සමගි ජනබලවේගය සූදානම් නැත්නම් පක්ෂ දෙකේ ආර්ථික කමිටු සාමාජිකයන් අතර විවාදයකට තමන් සූදානම් බව ද ජා.ජ.බ. නායකයෝ පවසති. මෙය  සමගි ජන බලවේගය අසීරුවට පත් කරන හා නායකයන් දෙදෙනා අතර විවාදයක් පිළිගන්නට සජබට බල කරන තර්කයකි. කෙසේ වෙතත් ඊට පිළිතුරු වශයෙන්දෝ නායකයන් දෙදෙනා අතර හා  ආර්ථික කමිටු දෙක අතර වශයෙන් විවාද දෙකක් පවත්වන්නට සජබ නායකයෝ යෝජනා කරති.

එවිට මතුවන ප්‍රශ්නය නම් නායකයන් දෙදෙනා අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් ආර්ථික කමිටු අතර විවාදයක් කුමට යන්නයි. නායකයන් දෙදෙනා දරන අදහස්වලට වඩා වෙනස් අදහස් ඔවුන්ගේ ආර්ථික කමිටුවල නායකයන් දරන්නේ නම් එසේ විවාද දෙකක් පැවැත්වීම යෝග්‍ය වනු ඇත. එසේම නායකයන් දෙදෙනා අතර විවාදයේදී සාකච්ඡාවට භාජන නොවූ කරුණු  ආර්ථික කමිටු අතර විවාදයේ දී සැලකිල්ලට භාජන කරන්නට යන්නේද? එසේ නම් ඒ මන් ද යන ප්‍රශ්නය මතුවේ.

නායකයන් දෙදෙනා අතර විවාදයක් අත්හැර, ආර්ථික, කමිටු දෙක අතර විවාදයක්  පමණක් පැවැත්වීම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමස්ත දේශපාලන ජීවිතයටම අහිතකර ලෙස බලපානු ඇත. මන්දයත් ජාජබ හා එහි නායක අනුර කුමාර දිසානායක මහතා නායකයන් දෙදෙනා අතර විවාදයක් පිළිබඳ අදහස නොකඩවා හා දැඩි ලෙස අවධාරණය කරද්දී ආර්ථික කමිටු දෙක අතර විවාදයක් පමණක් පැවැත්වීමෙන් ප්‍රේමදාස මහතා නායකයන් දෙදෙනා අතර යෝජිත විවාදයෙන් පලා ගිය බවට අදහසක් රට තුළ ගොඩනැඟෙන බැවිනි.

නායක මට්ටමේ හා  කමිටු මට්ටමේ විවාද දෙකක් පැවැත්වීමෙන් ද පක්ෂ දෙකේම නායකයන්ගේ ප්‍රතිරූප කඩා වැටීමේ අනතුරක් ඇත. ඒ නායක මට්ටමේ විවාදයේ දී එක නායකයකු අසාර්ථක වී ඔහුගේ පක්ෂයේම ආර්ථික කමිටුවේ සාමාජිකයකු කමිටු මට්ටමේ විවාදයේ දී බැබළුණහොත් එම පක්ෂ නායකයාගේ ප්‍රතිරූපයට ඉන්  විශාල හානියක් සිදුවනු ඇත. විවාද දෙකක් පැවැත්වීම මගින් එවැනි තත්වයක් කල් තබාම අපේක්ෂා කළ බවට එසේ බැබළුණු සාමාජිකයා චෝදනාවට ලක්වීමට ද ඉඩ තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන රටක වඩාත්ම වැදගත් මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයයි. තම පක්ෂය සතුව එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් ඇතිව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අණසකට යටත් කරගෙන සිටින  ආකාරයෙන් එය මනාව පෙනේ.

කුමක් හෝ දේශපාලන උප්පරවැට්ටියකට හසුවී ඉදිරි ජනාධිපතිවරණය කල් නොගියේ නම් නීතිය අනුව ඊළඟට පැවැත්විය යුත්තේ ද ජනාධිපතිවරණයකි. එම ජනාධිතිවරණයට ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට රට ආර්ථික වශයෙන් ගොඩගැනීම හා ගොඩනැඟීම සම්බන්ධයෙන්  නිරවුල් පැහැදිලි දැක්මක් හා වැඩපිළිවෙළක් තිබිය යුතුය. න්‍යායික වශයෙන් හෝ එවැනි දැක්මක් නැතිව තම පක්ෂයේ ආර්ථික කමිටුවක් මත හෝ තනි පුද්ගලයන්  මත හෝ විශ්වාසය තබා ජනාධිපතිවරයකු කටයුතු කළහොත් රට තවදුරටත් අගාධයට යාම වැළැක්විය නොහැකිය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් උද්ධමය වැඩි නොවේ යැයි අතීතයේ දී ඇතැම් මහ බැංකු අධිපතිවරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ කළේ මෙවැනි දැක්මක් නැති වටපිටාවකය. එහෙයින්  විවාද කෙරෙන්නේ නම් නායකයන් අතර විවාදය අනිවාර්ය විය යුතුය.

පක්ෂ දෙක අතර කෙසේ විවාදය පැවැත් වුවද ජයග්‍රහකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි ඇතැම්හු පවසති. ඒ බව කියවෙන  කාටුන ද මේ වනවිට ඇතැම් පුවත්පත්වල පළවී තිබේ. එය තර්කානුකූල මතයකි. මන්දයත් මෙම පක්ෂ දෙකේ විවාදයේ දී පක්ෂ දෙකම අනෙක් පක්ෂය විවේචනය කිරීමට කාලය මිඩංගු කළ හැකි හෙයිනි. එසේ දෙපාර්ශවයෙන්ම කෙරෙන විවේචන තමන්ගේ ප්‍රචාරක කටයුතුවල දී පාවිච්චි කිරීමට වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලැබේ. ජා.ජ.බ හා සජබ නායකයන් අතර විවාදයට ස්වාධීන රූපවානියෙන් අවස්ථාව සලසා දිය යුතු  යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක කළ ප්‍රකාශය තේරුම් ගත යුත්තේ ඒ අනුවය. 

දැනට ජනාධිතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රධාන පක්ෂ අතරින් නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා හා අනුර කුමාර දිසානායක මහතා පමණි. එහෙත් ලබන වසරේ ද ජනාධිපති වශයෙන් සිටිනු ඇත්තේ වික්‍රමසිංහ මහතා බවත් ඔහු ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්ද කෝටියක් ගනු ඇති බවත් ඔහුගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව මේ වනවිට ප්‍රධාන පක්ෂ තුනක අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව  පෙනේ.

එසේ නම් පක්ෂ දෙකක නායකයන් පමණක් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් විවාද කිරීමේ තේරුමක් නැත. ජනතාව අඩු තරමින් ඒ තිදෙනාම තමන්ගේ ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හා සැලසුම් දැන ගත යුතුය. එහෙයින් විවාදයක් පැවැත්වෙන්නේ නම් එය  තුන් කොන් විවාදයක් විය යුතුය. මෙවැනි ත්‍රෛපාර්ශ්වික විවාදයක් ඩේලි මිරර් හා ලංකාදීප පුවත්පත් දෙකේ විද්‍යුත් මාධ්‍ය මගින් විකාශය කිරීමට එම පුවත්පත් ආයතනය සූදානම් බව මේ වනවිටත් ප්‍රකාශයට  පත්කොට තිබේ.

එසේ අපේක්ෂකයන් තිදෙනකු අතර විවාදයක් අවශ්‍ය නැතැයි ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනා සම්බන්ධ කර ගත යුතු නැතැයි ද විවාදය පැවැත්විය යුත්තේ සජබ  හා ජාජබ අතර පමණක් යැයිද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා තිබිණි. එහෙත් ජනාධිපතිවරණය යනු පක්ෂ දෙකක ආරවුලක් නොවේ. ජනතාව මැතිවරණයේ දී දැනුවත් තීරණයක් ගන්නට නම් සියලු අපේක්ෂකයන් සහභාගි කරගත යුතුය. එය ප්‍රායෝගික නොවන නිසා අඩු තරමින් ප්‍රධාන පක්ෂ තුනේ හෝ හතරේ යෝජිත අපේක්ෂකයන් සහභාගි කරගත යුතුය.

මෙහිදී වැදගත් ප්‍රශ්න දෙකක් මතුවේ. පළමුවැන්න නම් පෞද්ගලික මඩ ප්‍රහාරවලින් තොරව එකකු ඉදිරිපත් කරන විෂය කරුණුවලට විෂය කරුණුවලින් පමණක් පිළිතුරු දෙන සදාචාර සම්පන්න හා  සංයමයෙන් යුත් විවාදයක් කරන්නට මෙරට දේශපාලනඥයන්ට හැකිවේ ද යන්න. මෙරට රූපවාහිනී ඉතිහාසයේ පවත්වනු ලැබූ විවාද දස දහස් ගණන අතරින් එසේ විෂය කරුණුවලට පැහැදිලිව විෂය කරුණුවලින්ම පිළිතුරු දෙනු ලැබූ සදාචාර සම්පන්න විවාද වශයෙන් අපගේ මතකයට එන්නේ විවාද දෙකක් පමණි.

එකක් නම් 1999 දී එවකට ඇමැතිවරයකු වූ එම්.එච්.එම්. අෂ්රෆ් මහතා හා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අතර දීඝවාපී විහාරය ආශ්‍රිත ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැවැති විවාදයයි. දෙවැන්න 2012 දී විජයදාස රාජපක්ෂ මහතා හා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අතර භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීම පිළිබඳව පැවැති විවාදයයි.

මතු වන අනෙක් ප්‍රශ්නය නම් මෙවැනි විවාදයක දී ඊට ජනතාවගෙන් කොපමණ පිරිසක්  සවන් දෙනු ඇත් ද? එසේම එහි දී මතුවන කරුණු අනුව ඔවුන් තම අදහස් වෙනස් කර ගන්නට සූදානම් වනු ඇත් ද? යන්නයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ විවාදයට පෙරම ජනතාව ද දෙපැත්තට බෙදි විවාදය නැරඹීමත් විවාදයට සහභාගි වන තමන් අකැමැති පුද්ගලයා කොතරම් සත්‍ය කරුණක් පැවසුව ද තමන් කැමැති පුද්ගලයා දරන මතයේම තමන් ද තවදුරටත් සිටීමට  උත්සාහ කිරීමත්ය.

(*** එම්.එස්.එම්. අයුබ්)