2021 අගෝස්තු මස 15 වැනිදා දිනය අවසන් වූයේ ලොව අංක එකේ සුපිරි බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලතම යුද පරාජය හා අසාර්ථකම විදෙස් පිළිවෙත් තීන්දු මාලාව ගැන ලොවට කතා කිරීමට බොහෝ දේ ඉතිරිකරමිනි. ඉතිහාසය පුරා බලවත් අධිරාජ්‍යයන් දණගැස්වූ ඇෆ්ගනිස්ථානය හඳුන්වනු ලබන්නේ අධිරාජ්‍යයන්ගේ සොහොන් බිම ලෙසිනි. අධිරාජ්‍යයක් නොවූවද වත්මන් ගෝලීය බල කේන්ද්‍රය වන අමෙරිකා එක්සත් ජනපදය අද එම ඓතිහාසික සොහොන් බිමේ සිය ගෞරවය, සෙබළ ජීවිත හා ධනය මිහිදන් කර හමාරය. ඇෆ්ගනිස්ථානය අද නැවතත් 2001 වසරට පෙර එනම් අමෙරිකාව යුද්ධය ආරම්භ කිරීමට පෙර පැවති තත්ත්වයටම පැමිණ තිබේ. ඉන් පෙනී යන්නේ වසර විස්සක් පුරා අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කර හිස් අතින් ආපසු යන්නේ තම ප්‍රතිරූපයට අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද අත්කරගත් දැවැන්ත හානියක්ද සමග බවය. මේ තත්ත්වය පැහැදිලි කිරීමට සිංහලයේ ඇති “ගඟට ඉණි කැපුවා වගේ” හා “නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත” යන ප්‍රස්ථාව පිරුළු ගැළපෙයි.
ඉරිදා පස්වරුවේ අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ග්‍රීන් සෝන් නම් අධි ආරක්ෂක කලාපයේ පිහිටි තම තානාපති කාර්යාලයේ ඔසවා තිබූ ධජය අවසන් වරට පහත හෙළීය. ඒ ඇෆ්ගනිස්ථානයේ එතෙක් සේවය කළ අමෙරිකානු නිලධාරීන් හා වෙනත් පුරවැසියන් අමෙරිකානු හමුදා සහය ඇතිව ලහි ලහියේ පලායමින් සිටි අවස්ථාවකයි. ඒ සමගම ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානි ද තම ආධාරකරුවන් හා ජනතාව තලෙබාන් සටන්කාමීන්ට භාර කර ලේ වැගිරීමක් අවශ්‍යය නොවන බව පවසමින් ට්ටිටර් සටහනක් තබා පලා යන්නේ එරට රජයේ පාලනය අවසන් කරමිනි.
විසිවසරකට පෙර අමෙරිකාව විසින් පරාජය කරනු ලැබ බිමට සමතලා කර තිබූ තලබොන් සටන්කාමී කල්ලිය තෙදිනක් තුළ ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරවලින් බහුතරයක බලය තහවුරු කරගෙන ඉරිදා වනවිට කාබුල් අගනුවර ද තම ග්‍රහණයට නතු කර ගත්තේ බටහිර දේශපාලන අධිකාරිය හා විද්වතුන් මෙන්ම දේශපාලන විචාරකයන්ද මවිතයට පත්කරමිනි. අමෙරිකාව පමණක් නොව නේටෝ ධජය යටතේ තලේබාන් කල්ලියට එරෙහිව සටන් කළ හා පසුව ඇෆ්ගනිස්ථානය ගොඩනැගීමට ආධාර කළ යුරෝපා සංගම් රටවල් හා බ්‍රිතාන්‍යයද තම තානාපති කාර්ය මණ්ඩල හා පුරවැසියන් ඉවත්කරගෙන පලායමින් සිටින්නේ සාමය, නිදහස හා අන්තවාදී නොවන ජීවන රටාවක් අපේක්ෂා කළ ඇෆ්ගන් පුරවැසියන් තනිකර දමා ඔවුන් නැවතත් තලේබාන් අන්තවාදයට භාර කරමිනි. පලායන විදෙස් මිතුරන් දෙස බලා කාබුල් වැසියන්ගෙන් ඇතමෙක් මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ “ඔවුන් අපිව තලේබානුවන්ට විකුණා දැමුවා” යනුවෙනි.
සයිගොන් අවතාරය
කාබුල් අගනුවර අතහැර අමෙරිකානුවන් පලායන ආකාරය දැක්වෙන දසුන් හා සේයා රූ මාධ්‍ය ඔස්සේ විකාශය වෙද්දී අමෙරිකාවේ අතීත අඳුරු සෙවණැලිද ඉස්මතුවන්නට පටන් ගත්තේය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් යොදවනු ලැබූ අතිරේක භටයන් පන්දහසකගේ සහය ඇතිව එකක් පසුපස එකක් කාබුන් අමෙරිකානු තානාපති කාර්යාලීය පරිශ්‍රයට ගොඩබස්වනු ලැබූ චින්හුක් හෙලිකොප්ටරවල නැගී නිලධාරීන් පලායද්දී ඊට සමාන දර්ශනයක් ඇතුළත් වසර 26 ක් පැරණි කළු - සුදු ඡායාරූප මාධ්‍ය ඔස්සේ කලඑළි බසින්නට විය. ඒ 1975 වසරේදී වියට්නාම් යුද්ධයෙන් පරාජය ලබා අමෙරිකානුවන් පොරකමින් හෙලිකොප්ටරවල නැගී දකුණු වියට්නාමයේ සයිගොන් නගරයෙන් පලායන ආකාරය දැක්වෙන පැරණි ඡායාරූප පෙළකි. වියට්නාම් යුද පරාජය හා ඇෆ්ගන් පසුබෑම සමපාත කරමින් අමෙරිකානු මාධ්‍ය ඔස්සේ විවිධ විචාර මතුවෙන්නට පටන්ගෙන තිබිණ. ඉන් කියැවුණේ වසර 26 කට පසුව අමෙරිකාවට තවත් සයිගොන් පලායාමකට මුහුණ දීමට සිදුව ඇති බවයි. ඒ හා සම්බන්ධ මාධ්‍ය විමසීම්වලට පැටලිලිසහගත ලෙස උත්තර දුන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළේ සයිගොන් සිද්ධිය හා කාබුල් අත්හැරීම අතර වෙනස්කම් රැසක් ඇති බවයි. එහෙත් සිදුව ඇති අවමානයෙන් ගැලවීමට එය ප්‍රමාණවත් නොවීය. බයිඩන් පාලනයට විවේචනවලට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සැබෑ තත්ත්වය හා තලෙබාන් ශක්තිය අවතක්සේරු කළ බවට නැගෙන චෝදනා මධ්‍යයේයි. සිදුවූයේ කුමක්ද? අමෙරිකාවට වියට්නාමයේදී මෙන් වැරදුනාද? එසේත් නැත්නම් ඇෆ්ගනිස්ථානය පාලනය කළ නොහැකි භූමියක්ද? තලේබාන් කල්ලිය අසාමන්‍ය ලෙස බලවත්ද? මේ ගැන විමසා බැලීම වටී.
අධිරාජ්‍යයන්හි සොහොන් බිම
ඇෆ්ගනිස්ථානය පිහිටා ඇත්තේ බටහිර හා නැගෙනහිර යුරේෂියා කලාප අතර සන්ධිස්ථානයකයි. වර්තමානයේ එය නැගෙනහිරින් හා දකුණෙන් පාකිස්ථානයටත් බටහිරින් ඉරානයටත් උතුරෙන් උස්බෙකිස්ථානයට හා තජිකිස්ථානයටත් වක්හාන් කොරිඩෝව ඔස්සේ ඉතා සුළු බිම්කඩක් චීනයටත් මායිම්ව පවතී. අතීතයේදී එය පැරණි සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයකි. හේතු දෙකක් නිසා ඇෆ්ගනිස්ථානය යනු පාලනයට හෝ අත්පත් කර තබාගැනීමට දුෂ්කර භූමියකි. පළමුවැන්න දුෂ්කර භූ විෂමතා කලාපයක් වීමයි. ඇෆ්ගනිස්ථානය හින්දුකුෂ් හා කාරාකොම් කඳු පන්තිවල කොටසක් ලෙස පවතින අතිදුෂ්කර බොහෝවිට වියළි කටුක කඳු බෑවුම්, ගුහා හා ප්‍රපාත බහුල විෂම භූ කලාපයකි. දේශීය සතුරන් සමග ගැටෙමින් එම භූමිය පවත්වාගැනීම බාහිර අධිරාජ්‍ය බලවේගයකට ඉතා අපහසු තත්ත්වයකි.
දෙවැනුව ඇෆ්ගනිස්තානය යනු සටන්කාමී කඩිනමින්ම ස්ථාවරය වෙනස්කරන, විශ්වාස කිරීමට අපහසු ජනවර්ග හා ගෝත්‍ර මෙන්ම සන්නද්ධ පාර්ශවයන්ගෙන් සමන්විත රටකි. එවැනි ජන සමාජයක් පාලනය යනු අතිශය බරපතළ අභියෝගයකි.
ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ ගෝලිය අධිරාජ්‍යයක් ගැන සැළසුම් කළ ග්‍රීක මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා නැගෙනහිරට හමුදා මෙහෙයවමින් ඉන්දියාව ආක්‍රමණය කිරීමේදී ඇෆ්ගන් කලාපය හරහා ගමන් කළා මිස එහි භූමිය අත්පත් කරගැනීමට උත්සුක නොවීය. එම කලාපය මුලින් සාර්ථකව පාලනය කළේ පැරණි භාරතයේ මෞර්ය රාජ වංශයයි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට භාරතයෙන් විකාශය වූ ගාන්ධාර බෞද්ධ සංස්කෘතිය එහි උතුරු හා නැගෙනහිර කලාපවල විසිරී තිබිණ. ප්‍රකට බාමියාන් බුදුපිළිම තැනූ කුෂාන් අධිරාජ්‍යයද ඉන් කොටසකි. ක්‍රි.ව. හත්වැනි සියවසේ සිට අරාබියෙන් ව්‍යාප්ත වූ ආක්‍රමණ හා මොංගෝලියානු ආක්‍රමණ හේතුවෙන් බෞද්ධ රාජ්‍ය ක්‍රි.ව. එකොලොස්වැනි සියවස වනවිට අවසන් විය. අනතුරුව අරාබිවරු මොංගෝලියානුවන් හා ඉන්දියාව යටත් කරගත් මෝගල්වරු වරින් වර ඇෆ්ගනිස්ථානය පාලනය කළද ඔවුන් ද ඇෆ්ගන් ගෝත්‍ර සමග විනාශකාරී යුද්ධවල යෙදී හානි සිදුකරගත්හ. බලවත් මොංගෝලියානු අධිරාජ්‍ය ජෙංජීස් ඛාන්ට සිය ඥාති සොයුරා අහිමි වූයේද ඇෆ්ගන් සටනකදීය.
ආසියාවේ බලය පැතිර වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුද්ධ තුනක් ඇෆ්ගනිස්ථානයේදී සිදුකළ අතර ඍජුව එම භූමිය දිගුකාලීනව පාලනය කළේ නැත. පළමු ඇෆ්ගන් බ්‍රිතාන්‍ය යුද්ධය 1839 දීත් දෙවැනි ඇෆ්ගන් බ්‍රිතාන්‍ය යුද්ධය 1878 දීත් තෙවැන්න 1911දීත් සිදුවූ අතර ඉන් බ්‍රිතාන්‍යයන්ට මෙන්ම ඇෆ්ගන්වරුන්ටද දැඩි හානි සිදුවිය. සෑම විටකම බ්‍රිතාන්‍ය තමන්ට පක්ෂපාත දේශීය පාලනයක් ඇෆ්ගනිස්ථානයේ පවත්වාගැනීමට උත්සුක වුණා මිස ඉන්දියාව මෙන් ඍජුව තම පාලනයට නොගත්තේය.
1979 දී ලෝක බලවතුන් දෙදෙනාගෙන් එක් පාර්ශවයක් වූ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ තම භූමි බලය දකුණු හා මධ්‍යම ආසියාවේ ගැඹුරට ව්‍යාප්ත කිරීමටයි. ජනාධිපති නජිබුල්ලා යටතේ සෝවියට් හිතවාදී රූකඩ ආණ්ඩුවක් පිහිටුවා එය ආරක්ෂා කිරීමට රතු හමුදා බලය යොදවනු ලැබීය. එහෙත් හමුදා මරණ පහළොස්දහසක් හා රූබල් මිලියන ගණනක අලාභයක්ද සමගින් අමෙරිකාව විසින් මෙහෙයවනු ලැබූ ඇෆ්ගන් මුජහිදීන් සටන්කරුවන්ට පරාජය වී 1989 දී හිස් අතින් ඇෆ්ගනිස්ථානය හැර ගිය සෝවියට් දේශය ඊට වසරකට මදක් වැඩි කාලයකදී කඩාවැටුණේ ඇෆ්ගන් යුද්ධයේ එක් අතුරුඵලයක් වශයෙනි. අධිරාජ්‍ය සුසානයේ සෝවියට් බලවතා මිහිදන් වූයේ ඒ අයුරිනි. එදා ඇෆ්ගන් යුද්ධයේ මෙහෙයුම්කරු වූ අමෙරිකාව අද එහි ගොදුරක් බවට පත්වීම දෛවෝපගත සිද්ධියකි.
අමෙරිකාවේ ඇෆ්ගන් භූමිකාව
අමෙරිකාව හා ඇෆ්ගනිස්ථානය අතර ඇත්තේ ගහටපොත්ත බඳු බැඳීමකි. වර්තමානය දක්වා ඇෆ්ගනිස්තානයේ දක්නට ලැබෙන මුජහිදීන් ආගමික සටන්කාමයේ සුළු පියා අමෙරිකාවේ සී.අයි.ඒ. ඔත්තුසේවය යැයි සඳහන් කළ හැක. 1979 සෝවියට් රතු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ පසු අමෙරිකාව සිය මැදපෙරදිග ජාතික අවශ්‍යතා පදනම් කරගත් කාටර් පිළිවෙත හඳුන්වා දුන්නේය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය තුළ සෝවියට්දේශයට එරෙහි සෙවණැලි යුද්ධයක් දියත් කිරීම සී.අයි.ඒ. ඔත්තුසේවයට පැවරිණ. ජනාධිපති ජිමී කාටර්ගෙන් පසු අමෙරිකාවේ ජනාධිපති පදවියට පත් රොනල්ඩ් රේගන් ඔපරේෂන් සයික්ලෝන් නමින් ඇෆ්ගනිස්ථානය තුළ වඩාත් විධිමත් බුද්ධි අංශ මෙහෙයුමක් සංවිධාන කළේය. එහි අරමුණ වූයේ ඇෆ්ගනිස්ථානය තුළ විසිරී සිටි සෝවියට් විරෝධී සටන්කාමී බලවේග එක තේමාවක් යටතේ රැස්කර ප්‍රබල යුදකාමී අභියෝගයක් නිර්මාණය කිරීමයි. විවිධ මතබේද තිබුණද ගෝත්‍රික සටන්කරුවන් සී.අයි.ඒ. ඔත්තු සේවයේ මෙහෙයවීම යටතේ සෝවියට් පොදු සතුරාට එරෙහිව පෙළගැසුණු අතර ඔවුන් එක්තැන් කළ ප්‍රධාන තේමාව වූයේ ඉස්ලාමීය දැඩි මතධාරී සංකල්පයයි. වඩාත් විධිමත් ලෙස ඉස්ලාමීය සටන්කරුවන් බිහිකිරීමේ මෙහෙයුම පැවරුණේ නිරවි යුද සමයේ අමෙරිකානු හිතවාදී රටක් වූ පාකිස්ථානයයි. ඇෆ්ගනිස්ථානයට යාබද වයඹදිග ප්‍රාන්තයේ ඉස්ලාමීය මද්‍රසා පාසල් බිහිකළ පාකිස්ථානය අමෙරිකානු ආධාර යටතේ ජිහාඩ් සටන්කරුවන් ලෙස ඇෆ්ගන් තරුණයන්ට හා දරුවන්ට මතවාදීමය පුහුණුවක් හා පසුව වෙනත් කඳවුරු වලදී අවි පුහුණුවක් ලබාදීම සිදුවිය. 1982-1983 වකවානුවේ අමෙරිකාව ඇෆ්ගන් මුජහිදීන් සටන්කාමීන්ට අතිනවීන සෑම් මිසයිල හෙවත් පොළොවේ සිට විදිනු ලබන ගුවන්යානා නාශක මිසයිල සැපයීම ඇරඹීය.
සෝවියට් හමුදාවට ඇෆ්ගනිස්ථානයේදී යුද ගුවන්යානා හා හෙලිකොප්ටර 451ක් අහිමි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මහත් හානි විඳගත් සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය හැරයා යුතුය යන තීන්දුවට එළැඹුණේ 1980 දශකයේ අගභාගයේ මිහායිල් ගොර්බචොෆ් සෝවියට් නායකත්වයට පැමිණීමත් සමගයි. ඒ අනුව 1989 අමෙරිකාවට ජය ලබාදෙමින් සෝවියට හමුදා ඇෆ්ගනිස්ථානය හැර ගියේය. අමෙරිකානු මෙහෙයුමේ වැඩි හානි ලැබුවේ ඇෆ්ගන් පාර්ශවයයි. මුජහිදීන් සටන්කරුවන් පනස් පන්දහසකටද, ඇෆ්ගන් හමුදා භටයන් 18000 කටද සිවිල් වැසියන් දසලක්ෂයකට අධික සංඛ්‍යාවකටද ජීවිත අහිමි විය. අමෙරිකාවද ඉන්පසු මුජහිදීන්වරුන් අමතක කර ඇෆ්ගනිස්ථානය හැරගිය අතර මුජහිදීන් කණ්ඩායම් පසුව බලය උදෙසා එකිනෙකා සමග සටන් වදිමින්, ගිවිසුම්ගතවෙමින්, යළි විරුද්ධ වෙමින් හා සටන් වදිමින් 1990 දශකයේ මැදභාගය දක්වා කල්ගත කළේය. අමෙරිකාව අපේක්ෂා නොකළ බිහිසුණු අතුරුඵලයක් වූ තලේබාන් සටන්කාමී බලවේගය පාකිස්ථානයේ මද්‍රසා සටන්කාමී ෆැක්ටරි තුළින් එළිබසින්නේ එම කාල වකවානුවේදීය.
කවුද මේ තලේබාන්
ඇෆ්ගනිස්ථානයේ බලවත් හා බහුතර පෂ්තුන් වාර්ගිකයන්ගේ භාෂාව අනුව තලෙබාන් යනුවෙන් හඳුන්වන්නේ සිසුන්ය. 1994 පමණ වනවිට පාකිස්ථානයේ සිට ඇෆ්ගනිස්ථානයට සංක්‍රමණය වන තලෙබාන් තරුණ සටන්කරුවන් සෙසු මුජහිදීන්වරුන්ට වඩා සංවිධානාත්මක ශික්ෂාකාමී හා තම අරමුණ කෙරෙහි දැඩි කැපවීමක් පෙන්නුම් කළ කණ්ඩායමකි. මුල්ලා ඕමාර්ගේ ආධ්‍යාත්මික නායකත්වය යටතේ පෙළගැසුණු තලෙබාන්වරු ඉතා ඉක්මනින් සෙසු සටන්කාමීන් අබිබවා තම බලය තහවුරු කරගත්හ. 1995 වනවිට කාබුල් අගනුවර අල්ලාගත් ඔවුන් 1996 වනවිට සමස්ත ඇෆ්ගනිස්ථානයම ආවරණය වන පරිදි රජයක් පිහිටුවීමට සමත්විය.
දැඩි ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කළහ. කාන්තා අයිතීන් සියල්ල කප්පාදු කළහ. එමෙන්ම අනෙකුත් කලාපිය හා අන්තර්ජාතික සටන්කාමී කල්ලිවලට ඇෆ්ගන් භූමියේ රැකවරණ හිමිවිය. සෝවියට් යුද සමයේ අමෙරිකානු සී.අයි.ඒ. ඔත්තුසේවය සමග සමීපව ක්‍රියාකර පසුව අමෙරිකාවට එරෙහි වූ ඔසාමා බින් ලාඩන් බිහිකළ අල් කයිඩා කල්ලියටද ඇෆ්ගනිස්ථානයේ රැකවරණ ලැබිණ. අමෙරිකාවට ඒරෙහි සැප්තැම්බර් 11 ප්‍රහාරය සැළසුම්ගත කෙරුණේත් පසුව ඇෆ්ගනිස්ථානය අමෙරිකාවේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ඉලක්කයක් වූයේත් ඒ අනුවයි. එහෙත් පසුකාලීනව බලවත් වූ තලෙබාන් බව, අද මුල්ලා ඕමාර් නම් නායකයා නොමැති වුවද අමීන් අල් මුර්මීන්ගේ නායකත්වය යටතේ වඩාත් විමධ්‍යගත ශෛලියකින් පෙරට විත් තිබේ.
සැප්තැම්බර් 11 සහ අමෙරිකානු ආක්‍රමණය
2001 සැප්තැම්බර් 11 අමෙරිකාවේ නිව් යෝක් වොෂිංටන් නගරවලට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයෙන් පසු එම වසරේ ඔක්තෝබර් හත්වැනිදා අමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ තලෙබාන් රජය පෙරළා දමා අල්කයිඩාවට හා බින් ලාඩන්ට පාඩමක් ඉගැන්වීමටයි. ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට තලෙබාන් පාලනය අවසන් කරන අමෙරිකාව, තලෙබාන් විරෝධී බලවේගවල සහය ඇතිව පෂ්තුන් ගෝත්‍රික විද්වතෙකු වූ හමීඩ් කර්සායි ඇෆ්ගන් නායකත්වයට ගෙන ඒන්නේ සාම්ප්‍රදායික ඇෆ්ගන් ලෝයා ජිර්ගා පරිණත නායක සමුළුවක් තුළිනි. ඉන් පසුව 2004 හා 2009 ජනාධිපතිවරණවලද හමීඩ් කර්සායිද 2014 හා 2019 අතිශයින් මතබේදකාරී ජනාධිපතිවරණවලදී අවසානයේ අශ්රෆ් ඝානිද ජනාධිපති පදවියට පත්වූයේ බිඳවැටුණු ඇෆ්ගන් දේශපාලන ක්ෂේත්‍රය තුළ අභියෝග රැසකට මුහුණ දෙමිනි.
අමෙරිකානු යුද්ධයේ ප්‍රතිඵල
අමෙරිකානු හා නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයේ කළ යුද ක්‍රියාන්විතයෙන් තලෙබාන් සටන්කාමීන් 51000 ක්ද ඇෆ්ගන් හමුදා 60000ක්ද අමෙරිකානු හා නේටෝ හමුදා භටයෝ 3600කට අධික සංඛ්‍යාවක්ද සාමාන්‍ය වැසියෝ 47000ක් ද මියගියහ. අමෙරිකාව යුද්ධයට හා පසුකාලීන ඇෆ්ගන් ස්ථාවර භාවය සඳහා එරට ජාතික ධනයෙන් ඩොලර් ට්‍රිලියන 2.3ක් වැයකර තිබිණ. හානි සිදුවුවද අමෙරිකානු ආක්‍රමණයෙන් පසු ඇෆ්ගනිස්ථානය තුළ යම් සාධනීය ලක්ෂණ ජන සමාජය වෙතින් දක්නට ලැබිණ. ජනයාට අන්තවාදයෙන් මිදී නිදහසක් ලැබී තිබිණ. කාන්තාවන්ට නිදහසක් ලැබිණ. 2020 වසර වනවිට එරට ශ්‍රම බලකායෙන් තුනෙන් එකකට කාන්තා දායකත්වය ලැබිණ. 2003 වසරේ 30000 ක් වූ සරසවි සිසු සංඛ්‍යාවෙ 2020 වනවිට 180000 දක්වා වර්ධනය වී තිබිණ. ඉන් 49000 ක්ම තලෙබාන් කල්ලිය අධ්‍යාපන අයිතීන් අහිමි කළ කාන්තාවන් වීම විශේෂත්වයකි. ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තේරීමට කාන්තාවන්ට ඉඩ ලැබිණ. බිඳවැටුණු ජන සමාජය තුළින් පවා මෙවැනි සාධනීය ලක්ෂණ පහළ වී තිබිණ.
අමෙරිකාවට වැරදුන තැන
පළමුවෙන්ම අමෙරිකාව ලහි ලහියේ 2001 වසරේ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට උත්තරයක් දෙමින් අල්කයිඩා සංවිධානය විනාශ කිරීමේ අපේක්ෂාවෙන් බව පෙනී යයි. අල්කයිඩාවට සෙවණ දුන් තලෙබාන් පාලනය විනාශ කිරීම එක් අරමුණක් විය. එහෙත් තලෙබාන් සංවිධානයට එරෙහි යුද්ධය ගැන පැහැදිලි දැක්මක් එවකට පැවති ජෝජ් බුෂ් පාලනය තුළ නොතිබූ බවක් පෙනී යයි. 2003 වසරේ ඉරාකයට නිරර්ථකව පහරදීම සඳහා ඇෆ්ගනිස්ථානය අමතක කර පෙළඹීම ඊට කදිම උදාහරණයකි. ඇෆ්ගන් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ සම්පත් වලින් සියට 80 ක් පමණ ඉරාකයට යෙදවීම ඊට කදිම සාක්ෂියකි. අමෙරිකාව පොට වරද්දා ගත් 2003 වසරේ සිටම තලෙබාන් කල්ලිය යළි ප්‍රතිසංවිධානය විය. අනෙක් අතට ඇෆ්ගන් ජනසමාජයට අමෙරිකානු යුද්ධයෙන් යම් ප්‍රතිලාභ හිමිවුවද විදෙස් බලවේගයක් නිසාත්, ඇතැම් අත්තනෝමතික ක්‍රියා නිසාත් පෂ්තුන් වැනි ප්‍රබල ජනකොටස්වල සහයක් නොලැබීම නිසාත් අමෙරිකානු පදනම දෙදරා යාම ආරම්භ විය.
ඉරාකය හා ඇෆ්ගනිස්ථානය යන පෙරමුණු දෙකක යුද වැදුණු අමෙරිකාව හෙම්බත්ව සිටියද ඇෆ්ගනිස්ථානය හැරයාමේ සදාචාරාත්මක හා ආරක්ෂක ගැටලුවක් වොෂින්ටනය හමුවේ විය. 2008 වසරේ බලයට පත්වූ බරක් ඔබාමා ජනාධිපතිවරයාද ඇෆ්ගනිස්ථානය සඳහා විවිධ සැළසුම් සකස් කළද ඒවා ක්‍රියාත්මක කිරීමේ ගැටලු පැණනැග තිබිණ. ඔබාමා මෙන්ම ඔහුගේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ද අනාගත දේශපාලන අරමුණු මත පදනම්ව ඇෆ්ගනිස්ථානය ගැන තීන්දු ගැනීමට පෙළඹුණු බවට චෝදනා එල්ල වී තිබේ. අනෙක් අතට ඇෆ්ගනිස්ථානයේ හමුදා ඉවත්කරගත යුතුය යන අමෙරිකානු ජන මතය නොසලකා හළ නොහැකි විය. 2016 බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු හමුදා ඉවත්කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කළේ රාජ්‍ය තාන්ත්‍රික සැළැස්මක් යටතේ තලෙබාන් සංවිධානය කටාර් හි දෝහා නගරයේ සාකච්ඡා මේසයට කැඳවමිනි.
අමෙරිකාව සමග ගිවිසුම් ගතවුවද තලෙබාන් සංවිධානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වෙනුවට තුවක්කුව කෙරෙහි විශ්වාසය තබා තිබිණ. ජනාධිපති ජෝ බයිඩන්ට පැවරී තිබුණේ අමෙරිකානු හමුදා ඉවත් කිරීමේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමයි.
එහෙත් එහිදී බයිඩන් පාලනය ඇෆ්ගන් භුමියේ තත්ත්වය ගැන නිසි තක්සේරුවක නොසිටි බව පෙනේ. ඒ අතරින් පළමුවැනි දුර්මතය වූයේ දුර්වල අශ්රෆ් ඝානි රජය අවම වශයෙන් වසරක්වත් තලෙබාන් තර්ජන හමුවේ පවතිනු ඇති බවට කළ විශ්වාසයයි. ඒ නිසා සෙසු ප්‍රදේශ වැටුණද කාබුල් අගනුවර ඉක්මනින් තලෙබාන් කල්ලිය අතට පත්වනු ඇතැයි බයිඩන් පාලනය මෙන්ම සෙසු බටහිර නායකයන්ද විශ්වාස කළේ එම කාල පරාසය අන්තර්ජාතික ක්‍රියාමාර්ගයක් සඳහා තබාගනිමිනි.
දෙවැනුව තමන් පුහුණු කර නවීන අවි ලබාදුන් ඇෆ්ගන් හමුදාව ගැන අමෙරිකාව අධිතක්සේරුවක පසුවූ බවක් පෙනේ. එහෙත් ඇෆ්ගන් හමුදාව දින කිහිපයක් තුළ සටනකින් තොරවම බොහෝ තැන්වලදී තලේබාන් කල්ලිය යටත් වූයේ ඇෆ්ගන් ජනසමාජය තුළ නිරතුරු දක්නට ලැබෙන පැති මාරුකිරීමේ න්‍යාය පදනම් කරගනිමිනි. මේ නිසා අමෙරිකානු යුද උපකරණ රැසක් හා හමුදා වාහනද තලෙබාන් කල්ලිය අතට පත්ව තිබේ. තලේබාන්වරු අද නගරවල සැරිසරන්නේ අමෙරිකානු හමුදාවට අයත්වී තිබූ හමුදා වාහන වලිනි. අමෙරිකාවට පිටුපාමින් දිගටම තලෙබාන් සංවිධානය යුදමය, මූල්‍යමය හා දේශපාලනමය අංශවලින් ශක්තිමත් කිරීමට පාකිස්තානය ඉටුකළ භුමිකාවද තීරණාත්මකය.
දැන් අමෙරිකාවට හා ලෝක ප්‍රජාවට දැන් ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් ඉටුකළ හැක්කේ කුමක්ද ? කෙසේ හෝ තලේබාන් කල්ලිය අන්තවාදය වෙනුවට ජනසම්මතවාදය කරා යොමුවීමට පෙළඹවීමයි. තලේබාන් සංවිධානයටද අනූව දශකයේ මෙන් නොව අන්තර්ජාතික අවධානයක් අවශ්‍ය බව පෙනේ. තවමත් ඔවුන් දෝහා දේශපාලනික වැඩපිළිවෙළ තුළ රැඳී සිටින බවක් පෙන්වීම සාධනීය ලක්ෂණයකි. මේ තුළින් හෝ ඇෆ්ගන් ජනජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට හැකි නම් එය යුගයේ අවශ්‍යතාව වන්නේය.
(***)
(ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ)