ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම


ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රියාකාරකම් සහ හැසිරීම් අනුසාරයෙන් පෙනෙන්නට වීය. වසර 5 කට පමණ පසු මහත් ප්‍රබෝධයකින් සහ බහුතරයක් ජනතාවගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට හැකිවීම රටේ ආර්ථික හා සමාජ පැවැත්ම කෙරෙහි බලපෑමක් ඇති කරවූ බව ප්‍රකාශ කළ යුතුව ඇත.

රට සාමාන්‍ය තත්ත්වයකට පත්වීමත් මහජනතාව ක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා‌ගෙන යන තත්ත්වයකට පත්වීමත් දේශපාලන හා වෙනත් හේතු මත නොඉවසන පිරිසක් සිටින බවද ජනතාව සතුටට පත්වීම ඔවුන්ගේ ද්වේශය ඉහළ නැංවීමට හේතුවන බවද මේ අලුත් අවුරුද්ද තුළ සමහර සිදුවීම්වලින් පැහැදිලිව දැකිය හැකිවිය.

අවුරුදු නැකත් පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය කර මෙම සංස්කෘතික උළෙල අර්බුදයකට ලක් කිරීම සඳහා ඇතැම් පුද්ගලයන්, දේශපාලන පක්ෂ සහ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කටයුතු කළ ආකාරය ශෝචනීයය. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සකස් කිරීමේ කටයුතු වසර ගණනාවක් තිස්සේ වර්ධනය වී ඇති පිළිවෙතක් අනුව ජ්‍යෝතීර් විද්‍යාඥයන්ගේ මණ්ඩලයක් මගින් තීන්දු කරනු ලැබීය. එම මණ්ඩලය අලුත් අවුරුදු දිනයේ සුබ මුහුර්තයන්ට අනුව විවිධ කටයුතු සඳහා කාල නියම ඉදිරිපත් කරයි. නැකත් යනු එවැන්නකි. එසේ වුවද, මෙවර අලුත් අවුරුද්දේ වැදගත්ම සුභ මුහුර්තයන් මධ්‍යම රාත්‍රී කාලයේ යෙදී තිබීම රට තුළ ගැටලුවක් බවට පත් කිරීමට ඇතැම් අය උත්සාහ කළ ආකාරය පිළිකුල් සහගතය.

එය ගැටලුවක් බවට පත් කිරීමට උත්සාහ කළ විවිධ කණ්ඩායම්වල අරමුණ වුයේ මහජනතාව ඉතා උත්කර්ෂවත් අයුරින් අවුරුදු සැමරීමට කටයුතු කිරීම අවුල් කිරීමත් නැකත් මධ්‍යම රාත්‍රීයේ උදාවීම රජයේ වරදක් බව පෙන්වීමත් ය. මේ පිළිබඳ ඉතා කර්කෂ වාදවිවාද ඇතැම් මාධ්‍ය විසින් විකාශය කරනු ලැබීය. ඒ අතරම ඇතැම් පිරිස් විකල්ප නැකත් වේලාවන් මහජනතාවට ඉදිරිපත් කර ඒවාට අනුව අලුත් අවුරුද්ද සැමරීමට මහජනතාව යොමු කරනු ලැබීය. රජය මේ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. නැකත් සෑදීම ජ්‍යෝතීර්වේදීන්‌ගේ කාර්යයකි. මෙතෙක් පවත්වාගෙන ආ පිළිවෙත අනුව මේ වසරේදී ද කටයුතු කිරීමට රජය තීරණය කර තිබුණි. නැකත් වෙනස් කිරීමට රජය කටයුතු කළේ නැත. කවුරු කුමක් කීවද මහජනතාව නියමිත සුබ මුහුර්තයන්ට අනුකූලව අවුරුදු චාරිත්‍ර ඉටුකළහ. මුල් සුබ මුහුර්තයන්ට මිස විකල්ප සුබ මුහුර්තයන්ට කවුරුවත් රතිඤ්ඤා පත්තු කළේ නැත. නැකත්වල දෝෂ දැක්වූවන්ටත්, විකල්ප නැකත් කරුවන්ටත්, අවුරුදු නැකත් තුළින් දේශපාලන වාසි ලැබීමට උත්සාහ කළ අයටත් මහජනතාව ප්‍රතිචාර දැක්වුයේ ඒ අයුරිනි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද රටේ ආර්ථික හා සමාජ පැවැත්ම කෙරෙහි තීරණාත්මක සංසිද්ධියක් වන බව ඉහතින් සඳහන් කළේ එය රටේ නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි ඇති කරන බලපෑම හේතුවෙනි. සෑම වසරකම නොවැම්බර් මස පමණ වනවිට නත්තල සහ ජනවාරියේ උදාවන නව වසර සැමරීම සඳහා සුදානම්වීම ආරම්භ වේ. එම උත්සව කාලපරිච්ඡේදය උපරිම අවස්ථාවට පත්වන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව සමගිනි. එබැවින් නොවැම්බර් සිට ඊළඟ වසරේ අප්‍රේල් අවසානය පමණ වනතුරු රටේ බොහොමයක් භාණ්ඩවලට විශාල ඉල්ලු‍මක් ඇති වන බැවින් නිෂ්පාදක, ව්‍යාපාරික සහ වෙළෙඳ කණ්ඩායම්වලට තම ක්‍රියාත්මක භාවය ඉහළින්ම පවත්වාගෙන යාමට සිදුවේ. රටේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලියට සම්බන්ධ බොහෝ ආයතන ප්‍රසාද දීමනා සහ තවත් දිරිදීමනා ලබාදෙන කාලපරිච්ඡේදය වන්නේ ද මෙම උත්සව සමයයි. රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම, නිෂ්පාදනය ඉහළ යෑම, සේවා නියුක්තිය ඉහළයෑම වැනි ආර්ථිකයට හිතකර ප්‍රතිඵල රැසක් අත්වන අතර, තෑගි හුවමාරුව, කැවිලි පෙවිලි හුවමාරුව, මවුපියන් සහ ඥාතීන් බැහැදැකීම ආදිය හේතුවෙන් සමාජ සම්බන්ධතා වර්ධනය වීමක්ද එම කාලය තුළ දක්නට ලැබේ.

පසුගිය කාලපරිච්ඡේදය තුළ රට මුහුණදුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ද, පාස්කු දින ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි අර්බුද හේතුවෙන් ද වසර 05 ක පමණ කාලපරිච්ඡේදයක් තුළ මහජනතාවට තමන්ගේ සාමාන්‍ය දිවි පෙවෙත, සමාජ සම්බන්ධතා, ජාතික උත්සව පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැත. 2019 අප්‍රේල් මස පාස්කු දින ප්‍රහාරයට රට මුහුණ දුන්නේය. ඉන්පසු 2020 වසරේ සිට ක්‍රමයෙන් උත්සන්න වු කෝවිඩ් වසංගතයට මුහුණදීමට සිදුවිය. ඉන්පසු ආර්ථික අර්බුදයට මුහුණදීමට රටට සිදුවිය. මේ වසරේ අලුත් අවුරුද්ද උදාවෙද්දී රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීමේ දෙවැනි සංවත්සරය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කළ  2022 වසරේ අප්‍රේල් 12 වැනිදා වනවිට රටේ පැවැති තත්ත්වයට ඉඳුරාම වෙනස් තත්වයක් මේ වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන විට උදාවිය. රට ප්‍රපාතයට වැටී සීටිනු දැකීම සමහර දේශපාලන පක්ෂවල එකම අභිප්‍රාය වේ. මහජනතාව අලුත් අවුරුද්ද සැමරීම ඔවුන් දකින්නේ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳවැටීමක් ලෙසිනි.

මහජනතාවට ඉතා ඉහළින් අවුරුදු සැමරීමට හැකිව තිබෙන්නේ ආර්ථික වශයෙන් යම් යම් ජයග්‍රහණ අත්කර ගැනීමට ගෙවී ගිය කෙටි කාලය තුළදී රටට හැකියාවක් ලැබී තිබූ නිසාය. අවුරුදු දිනයේදී වාහන 550,000 ක් අධිවේගී මාර්ග භාවිතා කර තිබුණි. ලැබුණු ආදායම රුපියල් මිලියන 191 ක් විය. රෙදිපිළි, කෑම්බීම් ආදිය මිලදී ගැනීමට පසුගිය වසරවලට වඩා මේ වසරේදී විශාල ඉල්ලු‍මක් තිබූ ආකාරය දැකගන්නට ලැබුණි. එසේ වුවද රටේ ප්‍රශ්න මුළුමනින්ම විසඳී ඇති හෝ ජන ජීවිතය පූර්ව කෝවිඩ් යුගයේ තත්වයට සම්පූර්ණයෙන්ම පත්වී ඇති බවක් ඉන් අදහස් නොවේ. ජීවන වියදම, මිල වැඩිවීම් ආදිය දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් විශාල පිරිසක් ආර්ථික බරින් මිරිකී සිටි බව රහසක් නොවේ. ඔවුන් එම තත්වයෙන් සම්පූර්ණයෙන්ම මුදාගැනීමට හැකි වන්නේ රටේ ආර්ථිකය ඉහළ වර්ධනයක් ඇතිකර ගන්නේ නම් පමණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු කණ්ඩායමේ වසන්ත රැස්වීම පෙරේදා, අප්‍රේල් 15 වැනිදා ආරම්භ විය. එය අද අවසන්වීමට නියමිතව තිබේ. ලෝක ආර්ථිකයේ වර්තමාන ප්‍රවණතා පිළිබඳවත් ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික ප්‍රගතිය පිළිබඳවත් එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමත්, ලෝක බැංකුව වැනි ආයතන විසින් ලබාදෙන ආධාර සහ උපදෙස් ශ්‍රී ලංකාවට වර්තමාන ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා ආධාර වී තිබේ. රටේ ආර්ථික ප්‍රගතිය ධනාත්මක මට්ටමකින් ඉහළ යන ආකාරය පසුගිය සති කීපය තුළ විවිධ අංශ වලින් නිරීක්ෂණය විය. රුපියල අලුත් අවුරුද්දට පසු තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. සංචාරක ප්‍රමාණය මෙන්ම සංචාරක ආදායමද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. රටේ සංචිත ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. ඇතැම් අය මෙම වෙනස්වීම්වලට හේතුව ලෙස දකින්නේ රට ලබාගෙන ඇති ණය මේ අවස්ථාවේ නොගෙවා සිටීමයි. එසේ වුවද පසුගියදා ප්‍රකාශයට පත්වු මහ බැංකු ලේඛනවලින් පැහැදිලි වුයේ පසුගිය වසර දෙක තුළදී ඩොලර් බිලියන දෙකකට වැඩි ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇති බවයි.

අයි.එම්.එෆ්. සහ ලෝක බැංකු කණ්ඩායම් වසන්ත රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට ණය ගෙවීම අත්හිටුවා ඇත්තේ විවිධ රට වලින් ලැබුණු ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර මිලදී ගත් අයට අදාළ ගෙවීම්ය. තවමත් ඇතැම් පිරිස් පුන පුනා ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ එම ණය ගෙවීම් ආරම්භ කළ පසු රුපියලේ අගය ඉහළ යෑමත්, දැනට අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතියත් කඩා වැටෙනු ඇති බවය. එහෙත් ඔවුන් සඳහන් නොකරන එක කරුණක් වන්නේ ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ආපසු ණය ගෙවීම ආරම්භ වනුයේ වසර  6 කින් පසුව බවය.

දුර්මත ප්‍රචාරය කිරීම සහ බිල්ලන් මැවීම හේතුවෙන් ආර්ථිකයට සිදුවන මහා හානිය පිළිබඳ හොඳම උදාහරණය වන්නේ උමාඔය සංවර්ධන යෝජනා ක්‍රමයයි. ඒ හේතුවෙන් ඌව ජනතාවට මහත් විපතක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් ඇතැම් කණ්ඩායම් විසින් විශාල ප්‍රචාරයක් දියත් කරනු ලැබීය. බණ්ඩාරවෙල පළාත තුළ මහා විනාශයක් සිදුවන බවද එම පළාත නැත්තටම නැතිවී යනු ඇතැයි ද හැඟවෙන ආකාරයේ දුර්මත ප්‍රචාරය කර හරිනු ලැබීය. ප්‍රතිඵලය වුයේ ව්‍යාපෘතිය වසර 02 කට වැඩි කාලයක් නවතා දැමීමට සිදුවීමයි. එහි වන්දිය ගෙවීමට සිදුවුයේ මහජනතාවටය. දැන් උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය අවසන් වී තිබේ. මෙගාවොට් 120 ක පමණ විදුලියක් රටේ විදුලිය නිෂ්පාදනයට එකතු වනු ඇත. වසර 02 ක් එම ව්‍යාපෘතිය නැතිකර දැමීමෙන් සිදුවූ අලාභය පිළිබඳව දැන් ජනතා විමුක්ති පෙරමුණ වචනයක්වත් කතා කරන්නේ නැත.

කෙසේ වුවද මෙවැනි දුර්මත ප්‍රචාරය සහ බිල්ලන් මැවීම තුළින් මහා විරෝධතාවන් ගොඩ නැගීමට හැකි වුවද ඒ තුළින් එම දේශපාලන පක්ෂ තාවකාලිකව කිසියම් උත්ප්‍රාසයක් ලැබුවද ජනතාව සැමවිටම නිවැරැදිව තීරණ ගන්නා බව උමා ඔය විරෝධතාවට දැක්වු ප්‍රතිචාර තුළින් පැහැදිලි වේ. 2018 පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ බණ්ඩාරවෙල නගර සභාවටත්, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවටත් ඒකාබද්ධ පෙරමුණක් ගොඩනගා තරඟ කළද ඒ ආයතන දෙකෙන්ම පරාජයට පත්විය. එම මැතිවරණය පැවැත්වුයේ උමාඔය විරෝධතාව උච්චස්ථානයකට පත්ව තිබු අවස්ථාවක වුවද මහජනතාව නොරැවටෙන බව ඉන් පැහැදිලි වේ.

සමහර දේශපාලන පක්ෂ මහජනතාවගේ ඡන්දය ලබාගැනීමට බලාපොරාත්තු වන්නේ උමාඔය සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතම අනුගමනය කරමින් බව පෙනේ.  මේ රටේ මේ දක්වා සිදුවී ඇති සියල්ලම වැරැදිය. රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ කිසිවෙක් හෝ දේශපාලන පක්ෂයක් නැත. සියල්ලෝම හොරුය. මහා විශාල ධනස්කන්ධයක් කොල්ල කා ඇත. සියලුම දේ වැරදියට සිදුවී ඇත්තේ කොල්ලකෑම හේතුවෙනි. රට ගොඩ ගැනීමට අනුගමනය කරන පිළිවෙත තවමත් සකස් කර නැති නමුදු කොල්ලකෑම් පිළිබඳ සෙවීම එම පක්ෂවල ප්‍රධාන කාර්යයයි. මෙම අය උමාඔය උදාහරණය හොඳින් අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව පෙන්වාදිය යුතුය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර