අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු


සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් තොරව සියලු ජනී ජනයා බලවත් උද්‌යෝගයෙන් පෙළ ගැසී සිටින මේ මොහොතේ ‘‘ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා’’ යන පින්සාර ආශිංසනය ඇතිව ලංකාදීපයද එම මහා සංස්කෘතික මංගල්‍ය සමග අත්වැල් බැඳ ගනී.

රමණීය මොහොතක මරණීය අත්දැකීම් ගැන කතා කිරීම නොකළ යුත්තක් වුවද මේ මොහොතේ සම්ප්‍රදායේ යදම් බිඳ එක් කරුණක් අවධාරණය කළ යුතුය. මරණය අහම්බයක් නොවන්නක් බවත් මරණය රැගෙන එන්නේ උපතින්ම බවත් අපි දැඩිව විශ්වාස කරමු. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ජීවත්වන කාලය නොව එම ජීවත්වන කාලය තුළ අප කළ කී දෙයයි. සමාජයීය සත්වයකු ලෙස ඉපදුණු අපට එම සමාජය වෙනුවෙන් සිදුකළ යුතු මහා යුතුකම් සම්භාරයක් පවතී. එම සමාජයේ සංස්කෘතික හර පද්ධතිය ආරක්‍ෂා කිරීම, ඒවා පෝෂණය කිරීම හා එම සංස්කෘතික හර පද්ධතිය අනාගත පරපුරට දායාද කිරීම සමාජයට ඉටුකළ යුතු යුතුකම් අතර ප්‍රධානය.

මිනිසකුට නිදහසේ තම අවසන් හුස්ම පොද හෙළිය හැකිවන්නේ සමාජයට ඉටුකළ යුතුකම් පදාසයේ ප්‍රමාණය මතය. සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යනු සමාජයේ ජීවත්වන පුරවැසියකු ලෙස එම සමාජයට යුතුකම් ඉටු කිරීමට ලැබෙන මහඟුතම අවස්ථාවකි. තමන්ට ජීවය දුන්, සෙවණ දුන් මේ මහා පරිසර පද්ධතියට සාධාරණය ඉටු කිරීමට ලැබෙන අවස්ථාවකි.

සිංහල–දෙමළ අලුත් අවුරුදු මංගල්‍යය ඕපපාතිකව පහළ වූවක් නොවේ. එය දුරාතීතයේ ශිෂ්‍ට මිනිස් සමාජයේ සාමූහික පැවැත්ම වෙනුවෙන් ඇරැඹූ ක්‍රියාදාමයක අග්‍රඵලය වේ. සමාජයක් යනු සාමූහිකත්වයකි. එහෙයින්ම එය විවිධය. එමෙන්ම විසමය. සමාජයක් සංකීර්ණ වන්නේද එහෙයිනි. සංකීර්ණත්වය තුළ ඇති විවිධත්වය මහත් ඕනෑකමින් යුතුව විචිත්‍රත්වයක් ලෙස පෙරට ගත යුතුය. විවිධ විසම මිනිස් සිතිවිලි එක් අනුරාගි සිතිවිලි සමූහයකින් එකට බැඳ තැබිය යුතුය. සිංහල, දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික මංගල්‍යයේ අරුත එයය.

මෙම මහා සංස්කෘතික මංගල්‍යයට පිටු පා කිසිවකුට යා නොහැකි වන්නේ එහෙයිනි. කිසිවකු එසේ පිටුපා නොයන්නේද එහෙයිනි. ලෝක සිතියමේ ඇබැටක් තරමේ කුඩා රටක් වන අප රටට මුළු මහත් ලෝකය ඉදිරිපිට හිස කෙළින් තබා වැජඹෙන්නට හැකියාව තිබෙන්නේ අප සතු සංස්කෘතික උරුමයේ මහිමයෙනි. බොහෝ දුෂ්‍කර හා අකීකරු තත්ත්වයන් යටතේ වුවද මේ මහා සංස්කෘතික මංගල්‍ය සමග සකල ජනී ජනයා පේවන්නේ ද එහෙයිනි.

සමාජයක් ලෙස අප බිඳී වෙන්වී ගියහොත් අපට රැක ගැනීමට ජයග්‍රහණයක් හිමිවන්නේ ද නැත. අත්පත් කරගත් ජයග්‍රහණයක් ද නැත. ජාති - ආගම් කුල මල හා දේශපාලන මතිමතාන්තර ආදි වශයෙන් අප බෙදා වෙන්කර තබන ප්‍රමාණයේ තරමට අපට අත්වන හානියේ හා විනාශයේ ප්‍රමාණය වැඩිය. සිංහල, දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ දී අපට මෙම බෙදීම් අමතක කරවීමට පෙළඹවීමක් ඇති කරයි. මලින් බරවන අතු ඉති ද, පලින් බරවන තුරු හිස් ද අපට ඒ ඇවැසි පරිසරය සකසා දෙයි. ඔබ ඉදිරිපිට ඉතිරිව තිබෙන්නේ ඒ සමාජ යුතුකම ඉටු කිරීමේ වගකීමය. පොළොවට බරක් නැති මිනිසකු ලෙස නික්ම යාමට නම් ඒ සමාජ යුතුකම අප ඉටු කළ යුතුමය. මේ ඒ සඳහා ඔබට ඇති සුදුසුම නිමේෂය වේ.

(***)