අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය


සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. සිංහල සහ හින්දු අලු‍ත් අවුරුදු උත්සවය ප්‍රධාන වශයෙන් සමාජ විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වූවකි. පුද්ගලයා සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික වශයෙන් කටයුතු කරන විට විවිධ ප්‍රතිවිරෝධතා ඇති වීම සාමාන්‍ය තත්වයකි.

සංස්කෘතික උත්සවයකින් අපේක්ෂා කරන්නේ, එබඳු ප්‍රතිවිරෝධතා සහිත සමාජයකට ඒකාබද්ධතාවක් ඇති කිරීමයි. පැවැති ප්‍රතිවිරෝධතා අමතක කිරීමට අලු‍ත් අවුරුද්ද ප්‍රමුඛ කාරණයක් ලෙස යොදාගෙන, එතැන් සිට සහයෝගිතාවෙන් අලු‍ත් ගමනක් ආරම්භ කිරීම මෙහිදී සිදු වෙයි.

ඊළඟ වැදගත් කරුණ වන්නේ, සංස්කෘතික සම්ප්‍රේෂණයයි. ඒ යනු, කිසියම් සංස්කෘතියක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාව වෙත යාමයි. එහි අරමුණ, සංස්කෘතික සිරිත් වැඩිහිටි පරපුරෙන් බාල පරම්පරාවට හුරු කිරීමයි. එය හුරු කරගැනීමෙන් ඔවුහු එය තම ජීවන චර්යාව බවට පත් කරගනිති. සංස්කෘතික උත්සවයක වටිනාකම මතු කරන තවත් වැදගත් කරුණක් වන්නේ, අනන්‍යතාවයි. එසේම, කිසියම් සංස්කෘතියක කාලීන වෙනස් වීම් හඳුනා ගැනීම අතින් ද සංස්කෘතික උත්සව වැදගත් වනු ඇත. මුල් කාලීනව සිංහල අවුරුදු චාරිත්‍රවල ස්වභාවයත්, අද ඒවායේ පවත්නා වෙනස්කම් ආදියත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකිය.

ඕනෑම සංස්කෘතියක කාලීන වෙනස්කම් ඇති වීම ස්වාභාවිකය. පෙර පැවැති සමාජ ක්‍රමය දැන් බිද වැටී ඇත. අතීත සමාජය සරල ස්වයංපෝෂිත එකකි. සමාජයේ අවශ්‍යතා එම සමාජය විසින්ම නිෂ්පාදනය කොට ගැනීම අතීත සමාජයේ මූලික ලක්ෂණයයි. නිෂ්පාදන අතිරික්තය ද හුවමාරු කොට ගැනෙයි. එමගින් සුහදතාව වර්ධනය වුණි. එහෙත්, වර්තමානයේ අප ජීවත් වන්නේ කාර්මික සමාජයකය. සියල්ලෝ කාර්ය බහුලව සිටිති. ඒ නිසාම අතීත සමාජයෙහි කටයුතු කළ අයුරින්ම නූතනයේ කටයුතු කළ නොහැක. එම සන්දර්භීය වෙනස්කම්වලට අපි මුහුණ දිය යුතු වෙමු.

අතීතයේ පැවැතියේ විස්තෘත පවුලකි. මවුපියන් දරුවන් එකට ජීවත් වූයේ එකම නිවෙසකය. නැතහොත්, ආසන්නයේය. දැන් එම තත්වය සම්පූර්ණයෙන් මෙන් වෙනස් වී තිබේ. සමාජයේ බහුතරයක මවුපියන් ගමේ ජීවත් වුවත්, දරුවන් එක්කෝ නගරයේය. නැත්නම් විදේශ රටකය. එබඳු තත්වයක් තුළ චාරිත්‍ර පැරැණි අන්දමින්ම පවත්වාගෙන යාම අභියෝගයකි. එසේම, රටේ පවත්නා ආර්ථික තත්වය ද අවුරුදු සිරිත් සම්බන්ධයෙන් කරන බලපෑම පුළුල්ය. ත්‍යාග ලබා දීම අවුරුද්දේ චාරිත්‍රයක් වුවත්, මේ ආර්ථික තත්වය අනුව තම මවුපියන්ටවත් තෑග්ගක් ලබා දිය හැකි ද යන්න අභියෝගාත්මක කාරණයකි. කෘෂිකාර්මික සමාජ ක්‍රමය බිඳ වැටීමත්, මුදල මූලික වීමත් යන කාරණා ප්‍රබල ලෙස අද වන විට සමස්ත සමාජයට දැනෙන්නට පටන්ගෙන තිබේ.

එවැනි තත්වයක් ඇති වීමෙන් සංස්කෘතික කාරණා, සිරිත් විරිත් ආදිය පිළිබඳව ජනයා අතර පවතින ආකල්පය සහ බර වෙනස් වීම සමාජ සංස්කෘතික වශයෙන් සැලකිය යුතු එකකි. ඒ සඳහා ආර්ථිකය පමණක් නොව සිරිත් විරිත් සම්බන්ධයෙන් ඇති වන වාද විවාද ද අනියමින් බලපෑ හැකිය. අවුරුදු නැකැත් සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇති වූ පරස්පර අදහස් ඒ සඳහා එක් උදාහරණයකි. ජ්‍යොතිෂ්‍යය හෝ සංස්කෘතිය භෞතික විද්‍යාත්මකව විග්‍රහ කිරීමට යා යුතු නැත. අවුරුදු නැකැත චාරිත්‍ර සමග බද්ධ වූවකි. නැකැතට වේලාවන් දෙකක් යෝජනා වන විට ජනතාව තුළ ඇති වන්නේ, මේ කාරණා සම්බන්ධ අවිශ්වාසයකි. එම අවිශ්වාසය සංස්කෘතික ජන විශ්වාසයන් කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරන්නකි.

සංස්කෘතිය ආධ්‍යාත්මික හා භෞතික ලෙස දෙකොටසකි. භෞතික සංස්කෘතිය තුළ අපි දියුණුය යන්න කෙනකුට තර්ක කළ හැකිය. ඒත්, ඊට සමාන්තරව ආධ්‍යාත්මික සංස්කෘතිය සංවර්ධනය වී ඇත්තේ ද යන්න ගැටලු‍වකි. විශේෂයෙන්ම, සංස්කෘතික කාරණා දරා ගැනීම, වෙනස්කම්වලට මුහුණ දීම ආදි කාරණාවලදී මේ තත්වය වැඩි වශයෙන් සලකා බැලිය හැකිය. අපි ඇතැම් සංස්කෘතික හර තේරුම් ගෙන තිබේ ද යන්න විමසිය යුතුය. උදාහරණයකට, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ගනිමු. එය අද වන විට විශාල සමාජ ගැටලු‍වක් බවට පත් වී තිබේ. අවුරුදු සමයේ ද මත්පැන් අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සමහරු සලකති. එය ආධ්‍යාත්මික දියුණුව ප්‍රශ්න කරන අවස්ථවකි. එදා සිට මේ දක්වා එහි ආදීනව තේරුම් කොට දී, මත්පැන් අවම සමාජයක් බිහි කිරීමට හැකියාව පැවැතියේ නම්, සංස්කෘතික දියුණුවට එය උදාහරණයකි. හාත්පස තිබෙන වෙනස දරාගත හැකි, ඔරොත්තු දිය හැකි සංස්කෘතික මිනිසකු සමාජය විසින් නිර්මාණය කරනු ලැබ තිබුණේ නම්, එය රටේ සංස්කෘතිය සම්බන්ධව බලපාන වැදගත් කාරණයකි.

සංස්කෘතික චර්යාව සම්බන්ධයෙන් ද එම ගැටලු‍ව එලෙසම පවතී. මිනිසුන්ගේ ඇනකොටා ගැනීම්, මරාගැනීම්, නොඉවසීම්, ලිංගික අපයෝජන මේ තරම් සමාජය පුරා වර්ධනය වී ඇත්තේ සංස්කෘතික චර්යාවේ අර්බුදය නිසාය. එයින් පැහැදිලිව පෙනෙන්නේ, සංස්කෘතියේ මූල සම්ප්‍රදායයන් හර පද්ධතීන් වෙනස් වී ඇති බවය. සිංහල සහ හින්දු අලු‍ත් අවුරුදු උත්සවය සංස්කෘතික උත්සවයක් ලෙස අපට වැදගත් වන්නේ එම සංස්කෘතික චර්යාව යහපත් කොටගැනීම සදහාය.

සංස්කෘතික චර්යාවේ මූලය ගොඩනැගිය යුත්තේ, රටක අධ්‍යාපනයෙනි. එහෙත්, මෙරට අධ්‍යාපනයෙන් එය ඉටු වේ ද යන්න ගැටලු‍වකි. අපට ඇත්තේ දැනුම වෙනුවෙන් වෙහෙසෙන අධ්‍යාපනයකි. අධ්‍යාපනය මගින් පුද්ගලයකුගේ ආකල්ප සංවර්ධනය නොවුණහොත්, එය පැහැදිලිවම සමාජයට කරන බලපෑම විශාලය. ළමා වියෙහි ආකල්ප සංවර්ධනයක් සිදු නොවුණහොත්, පසු කාලීනව කිසි විටෙකත් යහපත් වැඩිහිටියකු අපේක්ෂා කළ නොහැකිය. අධ්‍යාපනයෙන් වගේම සිංහල සහ හින්දු අලු‍ත් අවුරුද්ද වැනි සංස්කෘතික උත්සව දරුවන්ගේ සංස්කෘතික චර්යාව ගොඩනැගීමට බෙහෙවින් යොදාගත හැකිය. මේ කාලවකවානුවේදී ඒ කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු වීම ඉතාමත් වැදගත්ය.

දරුවන් ඉදිරියේ පියා අලු‍ත් අවුරුද්ද සමරන්නේ මත්පැන් සමග නම්, දරුවන්ට යන පණිවුඩය වෙනස් එකකි. වැඩිහිටියන් දෙන උපදෙස් පිළිපදින සමාජයක් ගොඩනැගීමට ද එය බලපෑමක් වනු ඇත. ඒ අනුව, උපදෙස් දෙන සමාජයත්, උපදෙස් පිළිගන්නා සමාජයත් අර්බුදයට යනු ඇත. එය අවාසනාවන්ත තත්වයකි. එය, අවසානයේ සංස්කෘතික චර්යාවට කරන බලපෑම පුළුල්ය.

සංස්කෘතියකදී අප ඉදිරියට ගෙන යා යුත්තේ එහි වැදගත් වන හර පද්ධතියයි. එම හරයන් ඉදිරියට නොයෑමෙන් අනාගත පරපුර ඒ සඳහා සංවේදී වීමක් සිදු නොවේ. සංස්කෘතික මිනිසා තැනීමේ අභියෝගය මතු වන්නේ එතැනදීය. සංස්කෘතික වෙනස් වීම වැළැක්විය නොහැක. ඒ වෙනස් වීම කොතෙක් දුරට දරාගන්නේ ද, එය අපේ ජන ජීවිතයට හානියක් නොවන පරිදි කෙසේ පරිවර්තනය කරගන්නේද යන්න තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

අද ආර්ථික අර්බුදයේ බර දැනෙන්නේ ඒ ඒ පුද්ගලයා ඒ වෙත ළඟා වීමේ ප්‍රමාණය අනුව විය හැකිය. එහෙත්, මූලික අවශ්‍යතාවත් ඉටු කොටගත නොහැකි තත්වයට පත්වූ කෙනකුට කිරිබතක් සාදා ගැනීමට නොහැකි නම්, දරුවාට අලු‍ත් ඇඳුමක් ලබා දෙන්නට තරම් තත්වයක් නැති නම්, තම මව්පියන් සමීපයට ඇඳුමක් රැගෙන යාමට ආර්ථික තත්වයක් නොමැති නම්, එය පුද්ගල මානසිකත්වය මොන තරම් පහතට ඇදවැටීමක් ද? එසේ නොහැකි වීම පුද්ගලයාගේ නොහැකියාවක් නොවේ. මේ තත්වය අවසානයේ සමාජ සංස්කෘතික කාරණා කෙරෙහි බලපෑමක් ඇති කරන්නකි. කිසියම් කෙනෙකු අවුරුදු චාරිත්‍ර පැහැර හරිනවා නම්, එය කරන්නේ කැමැත්තෙන් නොවේ. කිරීමට ශක්තියක් නොමැති වීම නිසාය. ඒ නොහැකි වීම ඔහුගේ වරදක් නොවේ. එය සමාජයේ අර්බුදයකි. ගැටලු‍ව නිර්මාණය කළේ අප නොවුණත්, ඒ ගැටලු‍වට මුහුණ දෙන්නෝ අපි වෙමු.

වෙනදා සමරන, පිළිපදින අවුරුදු සිරිත් කිසියම් සමාජ අර්බුදයක් හේතුවෙන් එක් අවුරුද්දක හෝ මගහැරී යාම විශාල මානසික පීඩනයකට හේතුවකි. ආතතියකි. එබඳු ආතතියකින් කටයුතු කිරීමෙන් ඇති විය හැකි ගැටලු‍ විවිධය. ඒවා අවසානයේ සමාජ ගැටලු‍ දක්වා වර්ධනය වන්නට පුළුවන. එබැවින්, මේ අප ගත කරන සමාජ සංස්කෘතික ආර්ථික පදනම අප කාගේත් අවධානයට යොමු විය යුත්තකි.

සංස්කෘතික පිළිවෙත් ඉදිරියට ගෙන යා යුතු බව අවිවාදිතය. එහෙත්, පවත්නා තත්වය තුළ සිරිත් ‍රැකීමට ණය විය යුතු යැයි අපට කිව හැකි ද? අවශ්‍ය වන්නේ, අවුරුදු සැමරීමට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කිරීමය. ජනමාධ්‍යවලට පමණක්, වෙළෙඳ ආයතනවලට පමණක් අවුරුදු උත්සව සීමා වූ පමණින්, එය රටේ සාමාන්‍ය ජනතාවගේ අවුරුදු සැමරීමකැයි කිව නොහැකිය.

(***)

සටහන – ගාමිණී කන්දේපොළ