අමරණීය අමරදේව


ගීතය ප්‍රමුඛ මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි තීරණාත්මක හැරැවුම් ලක්ෂ්‍යය බවට පත්ව ලාංකීය කලා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකරමින් ලාංකික සමාජය ඔසොවා තැබූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ අමරණීය යුගයක් අප වෙත දායාද කළ සුවිශිෂ්ටයෙකි.

අමරදේවයන්ගේ ගුණසමරුව නොවැම්බර් මස 03 වැනිදාට යෙදෙන අතර ඒ නිමිත්තෙන් වන ගුණ සමරු උළෙල නොවැම්බර් මස 03 වැනිදා සවස 3.00ට බත්තරමුල්ල අපේගම රංග ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙල පැවැත්වෙන්නේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි. ප.ව. 6.00 සිට අමරදේව ගීතාවලිය පැවැත්වෙයි. අමරසිරි පීරිස් ජනනි පීරිස්, උද්දික ප්‍රේමරත්න, සුභානි අමරදේව, අසිත් චනුෂ්ක අතපත්තු, ආශ්කා කුලතුංග, තනුර මධුගීත්, හිමාශ මනුප්‍රිය, අනුරාධා නන්දසිරි, පාලින්ද උඩවෙල ආරච්චි, ගිම්හාන කෝමංගොඩ, රොවේන් අර්ල් පීරිස්, තිලිණ සුදේශ්, රංජන අමරදේව, හංසනී කරුණාරත්න මෙහි ගීත ගායනා සඳහා එක් වෙති. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. කැලු‍ම් ශ්‍රීමාල්, බිම්සරා ප්‍රේමරත්න, චමින්ද ගුණරත්න සහෘද ආමන්ත්‍රණයෙන් දායක වෙති. උළෙල සංවිධානය කරන්නේ අමරදේව පදනමයි. අමරදේව පදනම වෙත මෙරට සියලු‍ සද් රසික ජනයාගේ ප්‍රසාදය හිමි විය යුත්තේ අමරදේව සංගීතයේ මතක සහ ඇසුර නූතන පරපුරටද විඳින්නට අවස්ථාව සලසා දීමට දායක වීම වෙනුවෙනි.

1927 දෙසැම්බර් 05 වැනිදා මොරටුව කොරළවැල්ලේ දී උපත ලද මේ ප්‍රතිභාසම්පන්න විශිෂ්ටයාට උපතින් ලැබුණු නම වන්නේ දොන් ඇල්බට් පෙරේරාය. දරුවන් හය දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ දොන් ඇල්බට් පෙරේරා ගේ සංගීත ඇල්ම හා හා පුරා කියා වර්ධනය වූයේ දොන් ගිනෝරිස් පෙරේරා වන තම පියාගේ ආභාසය නිසාය. අශෝක මාලා චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කළ මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් අමරදේවයන් තම වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන වාදන ශිල්පියකු ලෙස සම්බන්ධ කර ගැනීම ඔහුගේ සංගීත දිවියේ ඉතාමත් වැදගත් අවස්ථාවක් විය. 1950 දී ඉන්දියාවේ ලක්නව් නුවර බාත්ඛණ්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත්වීම අමරදේවගේ ජීවිතයේ සංධිස්ථානයකි.

කෙසේ වෙතත් මෙරට ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික වශයෙන් තීරණාත්මක යුගයක තම සංගීත මෙහෙවර ආරම්භ කරන අමරදේව දශක ගණනාවක් පුරා දේශීය සංගීතයක් ගොඩනගමින් මෙරට සංගීත අනන්‍යතාව මතුකරලීමට කළ දායකත්වය ප්‍රමාණය කළ නොහැකි තරම් පුළුල් වූවකි. අමරදේවයන්ගේ එම මහඟු දායකත්වය එදා මෙන්ම අදටත් අද මෙන්ම හෙටටත් සමාජය පුරා විමසුමට හා පැසසුමට ලක් වනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා අමරදේව මෙහෙවර සම්බන්ධ‍යෙන් කියන්නේ මෙවැන්නකි.

“අමරදේව මම දකින්නේ ස්වාධ්‍යාය පුද්ගලයෙක් හැටියට. ඔහු තමන්ම නැගී සිටිය කෙනෙක්. ඔහුට නිර්මාණාත්මක ප්‍රතිභාව කියන දේ උපතින්ම පිහිටලා තිබුණා. අමරදේව සිංහල පවුලක වුණත් ප්‍රධාන වශයෙන් සංස්කෘතීන් දෙකකට අයත් වුණා. එක් පැත්තකින් බෞද්ධ. අනෙක් පැත්තෙන් කතෝලික. ඔහුගේ සංගීතයේදි මේ දහරා දෙකින්ම නාද මාලා පෙරිල එනවා. දොරකඩ අස්නත් ඇහෙනව. පිරිතත් ඇහෙනව. පල්ලියේ කන්තාරු ගීතිකාත් ඇහෙනවා. ඔහුගේ වගේම මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ වාසනාවට ඉතාම හොද දක්ෂ ගීත පද රචකයන් අමරදේවට මුණ ගැහෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල රත්නායක, මහගම සේකර, වගේ රචකයන් ඒ අතර ප්‍රධානයි. ඒ වගේම චිත්‍රසේන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුනිල් සාන්ත ආදීන්ගේ ඇසුර ඔහුගේ සංගීත දිවියට ඉතාම අර්ථවත් ලෙස බලපෑවා.”‍

ඩී.බී. ධනපාල මහතා ඇතුළු පිරිසක් විසින් ඇති කළ ශිෂ්‍යත්වය හේතුවෙන් ඉන්දියාවට යාමට දොන් ඇල්බට් පෙරේරාට අවස්ථාව ලැබෙන අතර ලංකාවට පැමිණීමෙන් පසු ඔහු ඉන්දියාවේ හැදෑරූ සංගීතයත් ලංකාවේ ජන සංගීතයත් ඇසුරු කරමින් ලංකාවට වඩාත් උචිත සංගීතයක් ගොඩනැගීමට මහන්සි ගත්තේය. දේශීයත්වය අගයන භාෂා සාහිත්‍යයක් සංගීතයක් ගොඩනැගීමේ සමාජ පරිසරයක් වෙත නැඹුරු වෙමින් පැවැති යුගයක් වූ මෙම කාලයේ ශාස්ත්‍රීය මෙහෙවරක් කරමින් සිටි බොහෝදෙනා තම බටහිර පන්නයේ නම් අතහැර දේශීය නම් භාවිත කිරීමට කැමැත්තක් දැක්වූහ. දොන් ඇල්බට් පෙරේරා යන නම වෙනුවට අමරදේව යන නම භාවිතය අරඹන්නේ ඒ අනුවය. අමරදේව නම ඔහුට යෝජනා කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා වීමද විශේෂත්වයකි.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් අමරදේව චරිතයේ විශේෂත්වය තවදුරටත් පැහැදිලි කළේ මෙසේය.

“අමරදේවයන්ගේ මෙහෙවර අංශ කිහිපයක් පුරා විහිදී යනවා. නාට්‍ය, චිත්‍රපට, දක්වාද පැතිරෙනවා. මේ හැම එකකම තියෙන්නෙ පවිත්‍ර සංගීතය. ඔහු ඉන්දියාවේදී හදාරන්නේ වයලීන් වාදනය. එතුමා හොඳටම දැනගෙන හිටියා පවිත්‍ර සංගීතයේ අගය. ඔහුට පොත පත කියවා මනා හැදෑරීමක් තිබුණා. ලංකාවට ආවට පස්සෙ මහා සංගීත සාගරය ඇතුළෙ පුංචි කොදෙව්වක් සහිත ගීතය තමයි තෝරගත්තෙ. ඒ ගීත කලාව අපේ ජන සංගීතයෙන්ද ඉන්දියානු රාගධාරී සංගීතයෙන්ද මුසු වී පෝෂණය වූ එකක්. අමරදේවගෙ හඬෙත් තිබුණා අපේකමත් එක්ක මිශ්‍රවුණ මිහිරක්. ඒක ගොඩනැගීමේදී ඔහු කළ හැදෑරීම් හරියට බලපෑවා. විශේෂයෙන් භාෂාවට ආදරය කළා. ඉංග්‍රීසි හින්දි භාෂා වගේම සිංහල භාෂාව මැනැවින් ඉගෙනගත්තා. හෙළ හවුලේ ඇසුරත් ඊට බලපෑවා.

ඔහු වරින් වර සංගීතය සම්බන්ධයෙන් පළ කළ ලිපි එකතු කරලා තමයි නාද සිත්තම් පොත ලිව්වෙ. ඒක ලිව්වෙ තපෝවනයෙ ඉඳලා. මමත් රංජිත් පලිහපිටියත් මේ ලිපි ලියද්දි යම් යම් දායකත්වයන් සැපයුවා. එතුමා කියවනවිට අපි තමයි ඒ කරුණු ලිව්වෙ. මට මතකයි අමරදේවයන්ට හරිම ලස්සන අත් අකුරු තිබුණා.”‍

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් දක්වන පරිදි අමරදේවයන්ගේ මනා භාෂා පරිචය තවදුරටත් විමර්ශනයට ලක් විය යුතු එකකි. එය අමරදේවයන්ගේ නිර්මාණ භාවිතයට කළ ආලෝකය කවරේදැයි සොයාබැලිය යුත්තකි. නිර්මාණකරුවකු වීමට අවශ්‍ය මනා අධ්‍යයනය කෙතරම් අවශ්‍යද හා වැදගත් ද යන කාරණයට මනා උදාහරණයක් ලෙස අමරදේව චරිතය පෙන්වාදිය හැකිය. අමරදේව අධ්‍යයනය මතුපරපුරට වඩාත් අවශ්‍ය වන්නේ ඒ නිසාය.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝලිතභානු දිසානායකයෝද ද අමරදේවයන්ගේ මෙම භාෂා විශිෂ්ටත්වය නිරීක්ෂණය කරති. කෝලිතභානු ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙවැන්නකි.

“අමරදේවයන්ගේ ජීවිතයේ ප්‍රධාන පැතිකඩ කරුණු දෙකක් යටතේ දකින්න මම කැමතියි. ඉන් එකක් තමයි භාෂාව පැත්ත. අනෙක සංගීත සේවනය. අමරදේවයන් භාෂාව සේවනය කරන ගමන්ම තමයි එතුමාගේ ජීවිතයේ සංගීත චර්යාවට ආලෝකයක් ලබාගන්නේ. සිංහල භාෂාව හොදින්ම දැන සිටීම වගේම ඉංග්‍රීසි භාෂා පරිචයත් ඊට හේතු වුණා. පාලි සංස්කෘත භාෂා පිළිබඳවත් ඔහුගේ ප්‍රාමාණික දැනුමක් තිබුණා. අපි කියවලා අහල තියෙන විදියට මමත් එක්කත් යම් අවස්ථාවල කියල තියෙන විදියට එතුමාගේ කුඩා කාලය තරුණ විය ගතවුණේ පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක. එවකට දිවයිනේ ප්‍රමුඛ භාෂා විශාරද යතිවරයන් වහන්සේලාගේ ඇසුර ලබන්නට එතුමාට අවස්ථාව ලැබෙනවා. ඒ භාෂා සේවනය තමයි සංගීත ක්ෂේත්‍රයට ආලෝකය සපයන්නෙ. මොකද පද රචනා තෝරාගැනීමේදී ඒවා ගායනා කිරීමේදී වචන උච්ඡාරණය කිරීමේදී ඒ භාෂා දැනුම හරියට බලපෑවා.

ඊට අමතරව ගිහි පඬිවරු ආශ්‍රය කිරීමේ අවස්ථාවත් එතුමාට කුඩා කාලයේදීම ලැබුණා. මුනිදාස කුමාරතුංග, මානවසිංහ, හියුබත් දිසානායක, අරීසෙන් අහුබුදු, මහාචාර්ය එදිරිවීර සරච්ච්න්ද්‍ර වගේ අයත් එක්ක එකට වැඩ කරන්න අමරදේවයන්ට අවස්ථාව ලැබුණා.”‍

මහාචාර්ය කෝලිතභානු දිසානායකයන් මතුකරන්නේ ඉතා වැදගත් කරුණකි. අමරදේවයන් ගැයූ හා සංගීතය සැපයූ ඇතැම් ගීත සංගීතමය පැත්තෙන් වඩාත් අර්ථවත් කිරීමට මේ භාෂා අවබෝධය විශේෂයෙන් බලපෑ බව පෙනේ. පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව පුත් රන්ජන අමරදේව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පුත් උදය මානවසිංහ මහතා සමග කළ එක් කතාබහකදී උදය මානවසිංහ මතු කරන කාරණය තුළද කෝලිතභානු ගේ ප්‍රකාශය තව දුරටත් අර්ථවත් වේ.

උදය මානවසිංහයන් එහිදී ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

“අපෙ තාත්ත ලියපු

ජගන් මෝහිනී මධුර භාෂිණී

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී”‍

කියන ගීතයේ තාත්තා මුලිම ලියල තිබුණෙ සරස්වතී දේවී නමස්තේ සරස්වතී දේවී කියලා. අමරදේව මහත්තයා මේක බලලා අපේ තාත්තගෙන් අහල තියෙනවා නමස්තේ කියන වචනෙ වෙනුවට වන්දේ කියල දාන්නද කියලා. තාත්තා ඒකට එකඟ වෙලා තියෙනවා. අමරදේව එහෙම යෝජනා කළේ ගීතයේ සුගායනීය බව ඇති කිරීමටයි. අමරදේව මහත්තයාට ඒ විදියට වචන වෙනස් කරන්න ශක්තිය ලැබුණෙ භාෂාවේ සංගීතමය හා සුගායනීය ලක්ෂණ පිළිබඳ එතුමාට මනා අවබෝධයක් තිබුණු නිසයි. කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුරත් අමරදේවයන්ට මේ සඳහා විශේෂයෙන් බලපාල තිබුණා.

භාෂා පරිචය නිසාම පෝෂණය වූ අමරදේවයන්ගේ සංගීතමය භාවිතාව සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය කෝලිතභානු දිසනායකයන් ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

“මම කැමතියි අමරදේවයන්ගේ සංගීත සේවනය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න. එක තමයි එතුමා අනුදත් ශාස්ත්‍රීය සංගීත සේවනය මගින් මේ රටේ සංගීතය පෝෂණය කිරීම. ඊළඟට ඒ ශාස්ත්‍රීය සංගීතය සහිතව මේ රටේ සංගීතය පෝෂණය කිරීම, අනෙක ඒ ලබා ගත්ත දැනුම භාවිත කරමින් මේ රටේ ජන සංගීත ක්ෂේත්‍රයේ යම් යම් නාදමාලා ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රයේ භාවිත කරමින් කළ ක්‍රියාවලිය. එතුමාගේ ගීත ගොන්න ගත්තාම මේ ප්‍රධාන ලක්ෂණ තුන දකින්න පුළුවන්. ඔහු රාග භාවිත කළේ මේ රටේ හුදී ජනයාගේ ශ්‍රවණ පුරුද්දට උචිත වන අන්දමින්. අමරදේවයන් ‍රටට අවශ්‍ය විදියට ගීතයේ රාග දමනය කළා. ඔහු ශාස්ත්‍රීය සංගීතය මේ රටේ මිනිස්සුන්ගේ රසිකත්වය පෝෂණය කිරීමට හරිම සියුම් විදියට යොදාගත්තා. වැදගත්ම දේ අපේ ජන සංගීතය පිළිබඳ යම් නිරීක්ෂණයක් කරලා අර ශාස්ත්‍රීය සංගීතයෙන් ලැබූ දැනුමෙන් අපේ සංගීතයේ අනන්‍යතා සොයා ගියා. එතනදි තමයි අමරදේව චරිතය කොතරම් ප්‍රායෝගිකව වැදගත් වෙනවද කියන එක වැදගත් වෙන්නෙ.

හැබැයි මේ අතරේ අමරදේව කියන මනරම් සංගීත අධ්‍යක්ෂවරයා සහ අමරදේව කියන අතිශූර වයලීන වාදකයා ගැන හරිම විදියට සමාජයේ අවධානය යොමු වුණේ නෑ කියලා මම හිතනවා. අමරදේවයන් චිත්‍රපට සඳහා කළ තනු වියමන් බැලු‍වාම ඒවා ඉතා විශේෂ නිර්මාණ බව පෙනෙනවා.”‍

අමරදේවයන්ගේ සංගීත නිර්මාණ දිවියේ ගී තනු නිර්මාණයදී බොහෝ රසවත් මතක අදටත් ඔහුගේ සමීපතමයෝ සිහිපත් කරති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් ඒ මතක අතරින් බිඳක් සිහිපත් කළේ මෙලෙසිනි.

“අමරදේව සහ මහගම සේකර සුසංයෝගය අපේ ගීත සාහිත්‍යයේ සුවිශේෂ එකක්. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඒ කියන්නෙ ඉස්සර රජයේ ලලිත කලා ආයතනයේ අමරදේව ඉද්දි මහගම සේකර අත් කොට කමිසයක් ඇදගෙන සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිත් මල්ලකින් කොළයක් ඇදල අමරදේවට දෙනවලු‍. අමරදේව මහත්තයා අඹ ගහ යට ළමයින්ට රාගයක් උගන්වමින් ඉන්නෙ. මහගම සේකර ලියල දුන්න කොළේ තිබුණු ගී පදවල ගැඹුර නිසාම ඒ උගන්වමින් හිටිය රාගයම පදනම් කරගෙන ඒ වෙලාවෙම ඒ ගීතයට තනුවක් නිර්මාණය කරන්න පටන්ගත්තලු‍. ඒ ගීතය තමයි පසු කාලෙ අතිශය ජනප්‍රිය වූ

රත්නදීප ජන්ම භූමි

ලංකදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි කියන ගීතය.

ඒ වගේම මට දවසක් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් කියපු කතාවක් මතකයි. ඔහු ගීතයක් ලිව්වා

පිපී පිපී රේණු නටන

වනේ මලක හැප්පිලා

වරෙන් වරෙන් සුළං පොදක්

අපේ ඇඟෙත් ගෑවිලා

කියලා. මේකට අමරදේව මහත්තයා සර්පිනාව එහෙම අරගෙන රාගධාරී සංගීතය ඇසුරින් ගීතයට සංගීතය නිර්මාණය කරද්දි මානවසිංහ ඒකට කැමැතිවෙලා නෑ. ඔහු තාලයකට නට නටා කිව්වලු‍ මෙන්න මේ විදියට තමයි තාලෙ එන්න ඕනෙ චිත්‍රපටයේ අවස්ථාව හැටියට කියලා. ඒ විදියට මානවසිංහ මහත්තයා දඟල දඟල නටපු තාලෙ, අඩි තියපු විදිය අල්ලගෙන තමයි පිපී පිපී රේණු නටන ගීතයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ.

සිරිපා පියුමේ

රොන් සුනු තැවරී

කියන ගීතයේ තනු නිර්මාණය කළාය කියන්නෙ කන්දක් මුදුනට ගිහින්. මහගම සේකර මහත්තයයි අමරදේව මහත්තයයි කන්ද මුදුනෙ වාඩි වෙලා වචන ලියන ගමන්ම තනුව නිර්මාණය කළ ගීතයක් මේක. ඊට අමතරව දවසක් ඩෝල්ටන් අල්විස් මහත්තයා අමරදේව මහත්තයත් එක්ක ගීයක් ලියන්න කියල හිතාගෙන මුහුදු වෙරළට ගිහින් බලාගෙන ඉන්නවලු‍. ඒත් කිසිම අදහසක් එන්නෙ නෑලු‍. බලාගෙන ඉඳල ඩෝල්ටන් කිව්වලු‍ ‘අද බෑ අමරෙ අපි යං. වෙන දවසක හදමු’ කියලා. එතකොටම දෙවැටකින් මතුවෙලා ආවලු‍ ලස්සන තරුණියක්. මේ තරුණිය නාලා දිග කොණ්ඩෙන් දිය බේරි බේරි දිය රෙද්දක් ඇඳගෙන තමයි හනි හනික එන්නේ. ඒ දසුන දැකපු ගමන් ඩෝල්ටන්ට ගීතයට වචන ආවලු‍. ඒ වෙලාවෙම ගීතය ලිව්වලු‍. ඒ ගීතය තමයි

නීල වරල නිල් චාමර පවන් සලන්නේ

කුණ්ඩකේෂී කුණ්ඩලකේෂී

නෙත උපුලින් වත කමලින්

ගත දුල වන්නී

සිහින් සිනා කැන් රැහැනින්

මන බැඳලන්නී

කුණ්ඩලකේෂී

ගිරි දේවිය විලස රුවන්

බරණින ගත සරහාගෙන

ගිරි මුදුනින් දිවි අරණට

යමු අපි ළඳුනේ නොලසින

කියන ගීතය. ඒ කාලෙ ගීත රචකයා සහ සංගීත නිර්මාණකරුවා මනා සුසංයෝගයකින් සාකච්ඡාවෙන් තමයි නිර්මාණය කරන්නේ. ඒකයි ඒවා මේ තරම් සාර්ථක වෙන්න හේතු වුණේ. අමරදේව මහත්තයා සංගීතය නිර්මාණය කළ බොහෝ ගීත බැලු‍වාම ඔහු ගීත රචනාවේ එළිසමයට මෙහෙවින් ප්‍රිය කළ බව පෙනෙනවා. පැරැණි චන්දස් වගේ දේවල්වලට ඔහු කැමැති වුණා. සුනිල් සරත් පෙරේරාගේ ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය’ මහගම සේකර ලියපු ‘ස්වර්ණමාලියේ’ වගේ ගීත හොදින් පරීක්ෂා කරල බැලු‍වම ඒ බව පැහැදිලියි. මට කියල තිබුණා ඒකාලෙ අමරදේව අපේ භක්තිගීත නිර්මාණය කිරීමේදී ඉන්දියාවේ භජන් ගීත ශෛලිය නොවේ අනුගමනය කළේ කියලා. ඒවා උස් හඬින් ගායනා කෙරුණේ නෑ. අපේ බැති ගීය යසෝදරාවතේ

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ

නෑර කැටුව ආවා මම සරණ ගෙනේ

වගේ රිද්මයකට හෝ තුන් සරණේ කවි වගේ බොහොම හෙමින් ගලාගෙන යන එකක් විය යුතු බව අමරදේව විශ්වාස කළා. ඒක භාවනාවක් පිරිතක් වගේ රිද්මයකට නිර්මාණය කළේ.

ගිලෙම් ඔබේ ගුණ මූදේ

විඳිම් ඔබේ දම් සාදේ

වඳිම් වඳිම් ඔබ පාදේ

තිලොවග බුදු සමිඳේ

වගේ ගීතවල තනු බැලු‍වාම ඒක පේනවා. ඒවගේම රටේ සංස්කෘතිය ජාතික උරුමය වගේ තේමා යටතේ අමරදේවයන් බොහෝ ගීත ගායනා කරලා තියෙනවා.”‍

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පැහැදිලි කරන්නා සේම අමරදේව නිර්මාණාවලිය විමසීමේදී පැහැදිලි වන්නේ ඔහු නව සංගීත මාර්ගයක් පුබුදු කළා පමණක් නොව එයින් රටේ රස වින්දන මග සුනිසි ලෙස පුළුල් කළා පමණක් නොව බරපතළ ජාතික මෙහෙවරක් ද කලාවෙන් ඉටු කළ බවය. මෙරට පමණක් නොව මෙරටින් පිටත පවා තම සංගීත ලකුණේ ප්‍රභාව විහිදුවා ලූ අමරදේව මාලදිවයිනේ ජාතික ගීයේ පවා තනුව නිර්මාණය කිරීම සමස්ත රටටම කීර්තියකි.

දශක කිහිපයක් තිස්සේ ගීතයෙන් සංගීතයෙන් කළ මේ මෙහෙවර උදෙසා අමරදේවයෝ විවිධ ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූහ. පිලිපීන රමෝන් මැග්සේසේ සම්මානය, දේශමාන්‍ය සම්මානය, කලා කීර්ති සම්මානය, ඉන්දියානු පද්මශ්‍රී සම්මානය ඒ අතරින් කිහිපයකි.

අප මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙවන් සුවිශිෂ්ට මෙහෙවරක් මෙරට කලා ක්ෂේත්‍රයට ඉටුකළ නව සංගීත මගක් හෙළි කළ ආචාර්ය පණ්ඩිත් අමරදේව වැනි කලාතුරකින් බිහිවන විශිෂ්ට චරිතයක් කිසිදා නොමියෙන බවය. අප කළ යුත්තේ ඔහු හඳුන්වා දුන් මග හඳුනාගෙන ඒ මග අපේ මතු පරපුරටද හඳුන්වා දීමය. එයින් අනාගතය දීප්ත කිරීමය. අමරදේව හැදෑරීම සඳහා මෙරට දරුවන් යොමු කළ යුතු වන්නේ ඒ නිසාය.

 

(***සටහන - ගාමිණී කන්දේපොළ)