අඩි 18 x 18 කුටියක එදාවේල ජීවිතය


-------------------------------------------------------------------
(සටහන සහ ඡායාරූප.  විනීතා එම් ගමගේ)
-------------------------------------------------------------------

කඳුකරයේ පරිසරය සුන්දරය. සීත දේශගුණය, බැලු බැලු අත පැතිර යන නිල්ල, ගලා හැලෙන දියඇලි ආදී නෙත පිනායන දසුන් දකිනු රිසින් ගෙන්දගම් පොළවේ සිට එහි යන්නන් බහුල වුවත් වතුකරයේ ජීවත් වන, එහි ඉපිද එහිම මියයන වතු කම්කරුවන් ගේ ජීවිත අප දකින සාර සොබා පරිසරය තරම් ලස්සන නැත.

එහි ලස්සන විඳින්නට තරම් සන්සුන් මානසිකත්වයක් වතුකරයේ ජනතාවට නැත. එය මධ්‍ය කඳුකරයේ තේවතුවලට ද, සබරගමුවේ තේ වතුවලට  ද, පහතරට වතුකරයට ද එක හා සමානය.

වතු කම්කරුවන් ගැන කතා කරද්දී ද්‍රවිඩ කම්කරු ජනතාව විශේෂය. මන්ද ඔවුන්ටම හිමි නිවාස නැත. වතුහිමියන් විසින් තනා දී ඇති කම්කරු නිවාසවල ජීවත් වන ඔවුන් එදාවේල ගැන පමණක් සිතන හෙට දවසක් නොමැති පිරිසක් බවට පත්ව සිටිති.

පසුගිය දා කථාබහට ලක්වුණු ඉෂාලිනි වැනි බාලවයස්කාර දැරියන් වහල් සේවයට විකුණා එයින් ජීවත් වෙන්නට පවා වතුකරයේ මව්පියන්ට සිදුව තිබේ. දරුවන් විකුණා ජීවත්වීම ඉතා පහත් කටයුත්තකැයි කෙනෙක් කියනු ඇත. එහෙත් ඔවුන් පත්ව සිටින දුක්ඛදායි පසුබිමේ දී එවන්නක් වුවද සාධාරණීකරණය කරන්නට වතුකම්කරුවෝ පෙළඹෙනු ඇත.

ගාල්ල දිස්ත්‍රික්යේ ඉහළම කොටසේ පිහිටි උඩුගම හෝමදොළ, තල්ගස්වල, කැටන්දොළ වැනි වතුයායන්හි ද,  හැටන්, ආගරපතන, ඩයගම වැනි ප්‍රදේශවල වතුයායන්හි ඇවිද ලද අත්දැකීම් අනුව නම් වතු කම්කරු දරුවන් ද මේ රටේ දරුවන් වුවත් ඔවුන්ට වෙනස්කම් කිරීම තවමත් තිබේ.

වතුවල දරුවෝ ධනවතුන්ගේ නිවාසවල තවමත් මෙහෙකාර සේවයේ යෙදෙති. බදුයුදීන් ගේ නිවසේ සේවය කළ ඩයගම වත්තක උපන් ඉෂාලිනි පිළිස්සී මිය ගිය පසු වතුකරයෙන් එසේ බැලමෙහෙ කරන්නට යවන ලද බොහෝ බාලවයස්කාර දරුවෝ ආපසු ගෙන එන්නට මව්පියවරු කටයුතු කර ඇති බව පෙනීයයි. එහෙත් මේ මොහොත වන විටත් එසේ සේවය කරන අතලොස්සක් නැතිවා නොවේ.

අනෙක බාලවයස්කාර දරුවන් පමණක් නොවේ. නිසි වයස සපුරා  ගෘහසේවයේ යෙදෙන තරුණීයන් විශාල පිරිසක් ද වතුකරයෙන් ගිය තරුණීයෝ වෙති. වත්තක දිනක් සේවය කළ පසු ලබන වැටුප රුපියල් දහසකි. දින තිහම වැඩ කළත් රුපියල් 30,000 කි. එහෙත් නිවසක සේවය කර එම මුදල සපයාගත හැකි බැවින් ද අව්වේ වැස්සේ දුක් නොවිඳ සිටිය හැකිවා පමණක් නොව, කන්නද අඳින්න යන වියදමත් නැති නිසා ඔවුහු එවන් රැකියා සොයා යති.

බි්‍රතාන්‍ය ජාතික වැවලිකරුවෝ වතුවල සේවය සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ද්‍රවිඩ ජාතිකයෝ ‘ලැයිම් කාමර’ නමින් හඳුන්වනු ලබන පේලි ගෙවල් ඉදිකර නවත්වාලනු ලැබූහ. වසර සිය ගණනකට එපිට සිට ඔවුන් ජීවත් වූ ලැයිම් කාමරවලින් පිටව තමන්ගේම වූ නිවසක ජීවත් වන්නට අවස්ථාව ලැබී ඇත්තේ ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසකට පමණි.

උඩුගම හෝමදොළ වත්තේ අංක 6 කොටසට අප ගියේ බොහෝ පීඩා විඳින සිටින වතුකම්කරුවන් පිරිසක් හමුවීමටය.

ගලායන හෝමදොළ ඉවුරේ තනා ඇති ඔවුන්ගේ නිවාස හෝමදොළ උතුරද්දී යටවෙයි.  කඳුපාමුල කන්දට මුහුණලා ඉදිකර ඇති එම නිවාස මැදින් කන්දෙන් එන ජලපහරද හෝමදොළට වැටෙයි. වැසි සමයේ නොනිදා රැය පහන් කරන්නට ඔවුන්ට සිදුව තිබේ.

වැස්සට සාප කරමින් දශක ගණනාවක් තිස්සේ ජීවත් වන මේ පිරිස අතරට ගිය අපට දැක ගත හැකි වූයේ එහි නිවසක ඇති උපරිම වපසරිය වන්නේ වර්ග අඩි 300 ක් පමණක් බවය. එය අඩි වලින් ගතහොත් අඩි 18 ඞ 18 කාමරයකි. සමහර නිවාසවල පවුල් දෙකක් නැත්නම් තුනක් ජීවත් වෙති. ගලායන දිය පහරක ඉවුරේ සිටියත් පානීය ජල ප්‍රශ්නයෙන් ඔවුහු පීඩා විඳිති.

“අපි ගෙට වහල ටිකක් දික්කළොත් වත්තෙ මුරකාරයා ඇවිත් කඩල දානවා. මළත් වළදාන්න ගෙනියන්න ඕන හැතැම්ම දෙකක් විතර ඒකට අපට මේ අහල පහල තැනක් නැහැ.” අර්තිඅප්පම් නිර්මලා  කීවාය.

“දරුවන්ට ඉගෙන ගන්න ඉස්කෝලයක් තියෙන්නේ හැතැම්ම දෙකක් විතර ඈත. පයින් යන්න ඕන. ඉතින් ඉගෙන ගන්න දරුවෝ අකමැති වෙනවා. ඉගෙනුම කඩාකප්පල් වුණාම මොකක් හරි රස්සාවක් හොයන් යනවා. ඔය පොඩි වයසෙ දරුවෝ ගෙවල්වල වැඩට යන්න හේතුව ඒකයි”

“මෙහේ හිටියත් වත්තේ වැඩට යන්න එපායැ. ඒක මදි ජීවත් වෙන්න. ඉතින් වෙන තැන්වල රස්සාවල් හොයන් යන එක වළක්වන්න බැහැ” යයි වර්ග අඩි 300 ක් තුළ ජීවත් වෙන පවුල් දෙකක සාමාජිකාවක් වන මනෝරංජනී කතාබහට හවුල් වෙමින් කීවාය.

බීමත්කම ද වතුකරයේ වැඩිය. බොහෝ විට සාමාන්‍ය ගමක ජීවත් වන පිරිසට වඩා වතුකරයේ බීමට ඇබ්බැහි වූ කාන්තාවන් පිරිස වැඩිය. එය දකුණේ වතුදෙස බලද්දී උඩරටට වඩා අඩුය. නිවසක අම්මා බීමත්ව හැසිරේ නම් එහි දී දරුවන්ට යන කල ගැන කියන්නට වචන නැත. එයම දරුවන් අගාධයකට හෙලන්නට හේතුවනු ඇත. කුඩා දරුවන් දූෂණයට ලක්වීම වැඩි වන්නේ ද මෙවන් හේතු නිසාය.

උඩරට වතු හා පහතරට වතුකරයේ ඇවිදිද්දී දැනුණු තවත් වෙනසක් වූයේ උඩරට වතුකරයේ මත්පැන් ලෙස භාවිතා වන්නේ සාමාන්‍ය අරක්කු වුවත් පහතරට බොහෝ වතුවල නීති විරෝධී මත්පැන් භාවිතා වන බවයි. මේ නිසා වතුකම්කරුවන් ඉලක්ක කරගෙන නීතිවිරෝධී මත්පැන් ජාවාරම ද වතු ආසන්නයේ ක්‍රියාත්මක වේ. වතුකම්කරුවන් උපයන දේ මේවාට වැය කිරීම තුළ පවුලේ පෝෂණය අහිමි වීමත්,  දුප්පත්කම වැඩිවීමත් සිදුවේ.

තල්ගස්වල වත්තේ කළ සංචාරයේ දී හෙළි වූයේ පොලී මුදලාලිලාගේ ආක්‍රමණය වතුකරයට බලපා ඇති බරපතල ප්‍රශ්නයක් බවය.

මාසයකට සියයට 10 වතුකරයට එන පොලී මුදලාලිලාගේ අවම පොලියයි. නිසි ගණන් බැලීමක් කෙරෙන්නේ නම් එය 120්‍ර ක වාර්ෂික පොලියත් ඉක්මවා යන්නකි. මන්නිසාද යත් එහි ඇත්තේ වැල් පොලියක් වන බැවිනි.  වැටුපෙන් ලබන සොච්චම පොලි මුදලාලිලාටම සින්න කරන කම්කරුවෝ දරුවන්ට වේල සරිකරන්නට තව තවත් ණය වෙති. මේ තත්ත්වය යටතේ වැටුප වැඩිවීම පිළිතුරක් නොවන්නේ ඒ හා සමානවම පවතින මෙවැනි තත්ත්වයන් ද උග්‍රවෙමින් පවතින නිසාය.

වතු කම්කරුවන් ස්වාධීන වනතුරු වැටුප් වැඩි කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකි බව පැහැදිලිය. ඉෂාලිනි ගේ ප්‍රශ්නය එක ප්‍රශ්නයක් සේ ගෙන ඇය ගැන කථා කිරීමෙන් පලක් නැතැයි ඩගයම ඇතුළු ඉහළ කඳුකරයේ වතුයායයන් හි කළ සංචාරයේ දී පැහැදිලි වූ කරුණකි.

සමස්ත වතු කම්කරු ප්‍රජාවේ දරුවන් අතරින් සියයට අනූපහක් පාසල් යති. පහක් පමණ නොයති. එහෙත් අපොස සාමාන්‍යපෙල දක්වා යන්නේ එයින් අඩක් පමණි. බොහෝ දෙනෙක් ඇඟළුම් කම්හල්වල, කඩසාප්පුවල, සේවයට යති. නැත්නම් ගෘහසේවයට යති. කෙසේ වෙතත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වියතුන් වතුකරයෙන් ද බිහිව ඇත. එහෙත් එවන් උගතුන් වන්නට හැකි බුද්ධිය ඇතත් ඉෂාලිනිලා වෙන්නට මේ වතුකරයේ දරුවන්ට සිදුව ඇත්තේ දරිද්‍රතාව හා අසමාන සැළකිලි නිසා බව මොනවට පැහැදිලිය.
පවතින ක්‍රමය යටතේ ටියුෂන් නොගොස් විභාග සමත්වීම අසීරුය. උඩරට වතුවලට ආසන්න නගරවල නම් දෙමළ මාධ්‍ය අමතර පන්ති පැවැත්වේ. එහෙත් ගාල්ල හෝ මාතර දිස්ත්‍රික්කවල දෙමළ අමතර පන්ති කිසිතැනක නැත.
 
ඉතින් අප බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඉෂාලිනි හෝ මෙහෙකාරකමට පැමිණ සිටින එක් දරුවෙක් හෝ දෙදෙනෙක් ගැන කථා නොකර සමස්තයක් සේ වතුකරයේ දරුවන් ගැන සොයා බලන ලෙසය. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් බලවත් තීරණ ගන්නා ලෙසය.


 

(ලංකා වතුසේවක සංගමයේ හිටපු සභාපති ධම්මික ජයවර්ධන, එහි විධායක මණ්ඩල සභික අරුමුගරාජ්, පහතරට වතු සේවක සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා යූ එල් කේ ජයලත්ගේ යන මහත්ම මහත්මීන් මෙම අධ්‍යයනයේ දී වතු කම්කරුවන් අතරට යන්නට කළ උපකාරවලට ස්තුතිවන්ත වෙමු.)