පොහොර ආරවුලේ ඇත්ත නැත්ත


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වසරේ අප්‍රේල් 27 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හරහා අපේක්ෂා කළේ ලංකාවට රසායනික පොහොරත්, කෘමිනාශක, වල්නාශක හා දිලීරනාශක ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමය. එහිදී අපට මුහුණදීමට සිදු වූ පළමු වැනි අභියෝගය වූයේ මහ කන්නයට පෙර ගොවියාට කෘෂිකර්මාන්තයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්නයි. ආණ්ඩුව එසේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තත් වී වගාවට හෝ එළවළු, බඩ ඉරිඟු ආදී වගාවට පොහොර නිර්දේශ කිරීමට ආණ්ඩුවට අයිතියක් නැත. ඊට හේතුව නම් පොහොර පනතින් ඊට බලය ලැබී තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පොහොර කමිටුවට වීමය.

ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බෝගවලට අදාළව කාබනික පොහොර නිර්දේශ සකසනු ලැබිණි. ඒ යටතේ වී වගාවට පොහොර වර්ග හතරක් නිර්දේශ විය. කාබනික කොම්පෝස්ට් පොහොර ඉන් එක් වර්ගයකි. නයිට්‍රජන් සියයට 1කට වඩා අන්තර්ගත මෙම පොහොර කිලෝග්‍රෑම් 500ක් හෙක්ටයාරයකට නිර්දේශ විය. එමෙන්ම ජෛව දියර පොහොර ලීටර 10ක් ලබා දේ. මෙසේ කාබනික කොම්පෝස්ට් හා ජෛව දියර පොහොර පමණක් භාවිත කර වගා කළ පිරිසක් ලංකාවේ මේ දක්වා ද සිටිති. විශේෂයන්ම අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මේ ආකාරයට වී වගා කළ ගොවියෝ සැලකිය යුතු පිරිසක් සිටිති.

අනෙක් අතට ලංකාවේ වී ගොවිතැනේ සිටින ලක්ෂ 8න් ලක්ෂ 2ක්ම මේ ආකාරයට වගා කිරීමට කැමැත්ත පළ කළහ. එනිසා අප බලාපොරොත්තු වූයේ මේ පිරිස සඳහා දේශීය කාබනික පොහොර ලබාදීමටය. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ඒ සඳහා දේශීයව පමණක් කෙරෙන නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් ආහාර සුරක්ෂිතතාව ගැන ද සැලකිලිමත් විය යුතු බවය. කාබනික නයිට්‍රජන් නිස්සාරණයක් ගැන කල්පනා කෙරුවේ එහිදීය.

ලෝකය පිළිගත් සහතික ලත් පොහොර පිළිබඳ කළ විමසීමේදී මුහුදු පැළෑටිවලින් නිෂ්පාදනය කෙරෙන එවැනි පොහොර ඕනෑ තරම් ඇති බව දකින්නට ලැබිණි. කාබනික නයිට්‍රජන් පොහොරක් හා කාබනික පොටෑසියම් මේ කන්නයට පමණක් ආනයනය කිරීමට තීරණය කෙරුණේ ඒ අනුවය.

අපගේ මූලික අරමුණ වූයේ මෙය පළමු නියමු ව්‍යාපෘතිය බැවින් ගොවීන්ගේ නිෂ්පාදනයට ද බලපෑමක් නොවන පරිදි යෙදවුම් කිරීමටය. එළැඹෙන මහ කන්නය හෙවත් ඔක්තෝබර් 15 වනවිට ඒ අනුව මේ රටට අවශ්‍ය පොහොර සියල්ල ලැබෙන බවට මම සහතික වෙමි. මේ පොහොර සියල්ල වී වගාවටය. මේ පොහොරවලින් නිෂ්පාදනයේ කිසිදු අඩුවක් නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගකීම දරයි.

මේ පොහොර ආනයනයට පෞද්ගලික සමාගම්වලට අවසර දී ඇත. ගොවිතැන සඳහා දේශීය මට්ටමින් නිෂ්පාදනය කෙරෙන අතරේ මෙම ආනයන සිදුවේ. අනෙකුත් බෝග සඳහා එනම්, තේ, පොල්, රබර් සහ එළවළු සඳහා වෙනදා මෙන්ම පෞද්ගලික අංශයට පොහොර සම්පාදනයට ඉඩ ලබා දේ.
පෞද්ගලික සමාගම් 27ක් විසින් එහිදී පොහොර වර්ග 72ක් ආනයනයට බලපත් ඉල්ලා සිටින ලදී. ඒ අනුව අදාළ සමාගම්වලට අවසර දී ඇත. ඒ සියල්ල ද කාබනික පොහොරය.

එහෙත් ඒවා ආනයනයේදී යම් පමාවක් සිදුවන බැවින් රාජ්‍ය සමාගම් දෙකටත් ආනයනයට අවස්ථාව දුන්නේය. ඒ අනුව ඔක්තෝබර් 15 වනවිට මේ රටේ සියලු බෝග සඳහා අවශ්‍ය පොහොර තොග සැපයෙන බව මම පවසමි.

මෙම ආනයනික පොහොර මනුෂ්‍යයන්, සත්වයන් හා ශාක සඳහා කරන බලපෑම ගැන වෙනම පරීක්ෂාවට ලක් කෙරේ. ආනයනය කරන ලද පොහොර භාවිතයට මුදාහැරෙන්නේ එම පරීක්ෂාවෙන් පසුය. විශේෂයෙන්ම මෙම ජීව කාණ්ඩ තුනට යම් බලපෑමක් ඇති පොහොරක් ආනයනයට පොහොර පනතින් බලයක් ද නැත. එනිසා එවැනි දේ ගැන සැකයක් තබා නොගන්නැයි මම ඉල්ලමි.
එහෙත් අපට මේ ක්‍රියාවලියේදී හැප්පෙන්නට සිදුව තිබෙන්නේ මත්ද්‍රව්‍ය හා අවිආයුධවලින් පසුව තෙවැනියට ඇති මාෆියාව සමගය. රුපියල් බිලියන සීයක ගනුදෙනුවක් ලංකාවේදී මෙය කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව සිදුවේ.

එනිසා ආණ්ඩුවේ කාබනික කෘෂිකර්ම වෑයම ආපස්සට හැරවීම සඳහා විශාල පිරිසක් වෑයම් කරන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇතැම් රූපවාහිනී නාළිකා, ගොවි සංවිධාන යැයි පෙනී සිටින පිරිස් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් මේ ආණ්ඩුවේ වෑයම කණපිට හැරවීමට පෙනී සිටිති. එනිසා මෙය සුළුපටු කරුණක් නොවේ. අනෙක් අතට කාබනික කෘෂිකර්මය සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තත් ඊට අදාළ තීරණ හිතුමතේ ක්‍රියාත්මක කිරීමට බැරිය. පෙර සඳහන් කළ පරිදිම ආනයනික පොහොර සඳහා අනුමැතිය දෙනු ලබන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. ඒවාට අදාළ ප්‍රමිතිය තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසිනි. එනිසා ඇමැතිවරයා වූ පමණින් මගේ අභිමතයට පොහොර ආනයනය කළ නොහැකිය.

කාබනික කෘෂිකර්මයට යොමුවීම හරහා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවේදැයි ඇතැම්මු විමසති. එවැන්නක් සිදුවන්නේ ආණ්ඩුවට පොහොර ටික කලට වේලාවට ගොවියාට දීගන්නට බැරිවුණොත්ය. එහෙත් එවැන්නක් නොවන බවට අපි ඉඳුරා සහතික වෙමු.

අනෙක් අතට කෘෂිකර්මයේ රසායනික හා කාබනික යැයි කෙරෙන බෙදීමේ අර්ථයක් නැත. නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස් ඇතුළුව ශාකයකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 18කි. මේ පදාර්ථ පෙර කී ආකාර දෙකෙන් කවර ක්‍රමයකට ලැබුණත් ප්‍රශ්නයක් නැත.

මේ මාරුවේදී ලොකුවටම බලපාන්නේ මේ කියන එන්.පී.කේ. (නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස්) පලහිලව්වය. අප නයිට්‍රජන් මෙන්ම පොටෑසියම් ආනයනය කරන අතර පොටෑසියම් ඕනෑ තරම් මහපොළවේ තිබේ.

මෙහිදී සිදුවන්නේ මෙතෙක් කලක් රසායනික පොහොරෙන් දුන් අඩංගුවම කාබනික පොහොරෙන් දීම පමණි. අප මේ තරම් වාද විවාද කරන්නේ ලෝකයේ රටවල් 181 ක් හෙක්ටයාර් බිලියන 71ක කෙරෙන වගා ක්‍රමයක් ගැනය. ඕස්ට්‍රේලියාවේ අපේ රටටත් වඩා විශාල පෙදෙසක කාබනික වගාව දියත් වේ. ඉන්දියාවේ කාබනික වගාවම අනුදත් ප්‍රාන්ත තිබේ. මේ පිවිසුමේ අභියෝගයක් නැතැයි මම කියන්නේ නැත.

ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්මේ 39 වැනි පිටුවේ පැහැදිලිව කියන්නේ කාබනික කෘෂිකර්මාන්තයට අවතීර්ණ වන බවයි. එනිසා මෙය ජනතාවට දුන් පොරොන්දුවකි.

අනෙක් අතට රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක නිසා ලංකාවේ මිනිසුන් විශාල පිරිසකගේ වකුගඩුවලට වී ඇති හානිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක බැංකුව කළ පරීක්ෂණ අපට අහක දමන්නට බැරිය. එම පරීක්ෂණයට අනුව අනුරාධපුර, පොළොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කවල මිනිසුන්ගේ වකුගඩුවලට වන බලපෑම අතිශය දරුණුය. තවත් කරුණක් වන්නේ ලංකාවේ ගොවියා රසායනික පොහොර භාවිතයේදී සීමාමායිමක් නැති වීමය. 2016 දී ලංකාවට ආනයනය කළ මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක පොහොර තොගය මේ අවස්ථාව වනවිට ලක්ෂ 12ක අවශ්‍යතාවක් දක්වා වැඩිවීමෙන් එය පැහැදිලිය.

මෙය ඉතාම නරක තත්ත්වයකි. මෙය ඉන්පසුව ඍජුවම බලපාන්නේ මහජන සෞඛ්‍යටය. පිළිකා යනු මේ වනවිට ලංකාවේ ජනතාව මුහුණ දෙන තවත් අභියෝගයකි. ජනාධිපතිවරයා නොබියව මේ තීරණය ගත්තේ ඒ පසුබිමේය. එසේ නැතිව මේ වැඩෙන් අපට ඇති දේශපාලන වාසියක් නැත. කවරෙකු කුමන කතා කිව්වත් මේ වෑයම සාර්ථක වුවහොත් ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යය බවට එය පත්වීම නොවැළැක්විය හැකිය.

එසේ වුවහොත් ලෝකයේ පළමු කාබනික ගෙවත්ත බවට පත්වන්නේ ශ්‍රී ලංකාවයි. එය පෙරළා බලපාන්නේ ලංකාවේ දැනට කඩාවැටී ඇති සංචාරක කර්මාන්තයේ වර්ධනයටය. නිදසුනකට ඉන්දියාවේ සින්ධි ප්‍රාන්ත වැසි ජනයා මෙන් සිව් ගුණයක පමණ සංචාරකයන් එම ප්‍රාන්තයට පැමිණෙන්නේ කාබනික වගාව නිසාය. එවැනි පරිසරයක් දැකබලාගැනීමට ලොව පුරා විදෙස් සංචාරකයන් අතර ඇත්තේ නොමද උනන්දුවකි.

එනිසා මෙම වෑයම සාර්ථක වුවහොත් විදෙස් සංචාරකයන්ගේ ආගමනය වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවට සැකයක් නැත.  

මෙම තීන්දුව සම්බන්ධයෙන් කතාබහ කිරීමට විෂය භාර ඇමැතිවරයා හැටියට මම ලංකාව පුරාම ගොවි සංවිධාන සම්මුඛ වීමි. පළමුවෙන්ම කළේ සමස්ත ලංකා ගොවි සම්මේලනය කැඳවා අදහස් විමසීමය. එහිදී ගොවීන් කියා සිටියේ අපට පොහොර දෙන්න යන ඉල්ලීම පමණි. අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, අම්පාර හා නුවරඑළිය ආදී වශයෙන් කෘෂිකර්මය හා බැඳුණු ප්‍රධාන මර්මස්ථාන සියල්ල කරා ගොස් ගොවි නායකයන් මුණගැසුණෙමි. වසංගත සමයේ ප්‍රශ්න නිසා මට යාගන්නට නොහැකිවුණේ කුරුණෑගල හා මොණරාගලට පමණි. පොළොන්නරුවේදී කතාබහ ආරම්භ කරද්දී ගොවීන් ආවේ මා සමග ගැටුමටය. මම ඔවුන්ට කරුණු පැහැදිලි කළ පසු ඔවුන් කීවේ පොහොර කළමනා ලැබෙන්නේ නම් අභියෝගය බාරගැනීමට සූදානම් කියාය.

මේ ආනයනික පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කල්තියාම ගෙන්වා බතලේගොඩ වී පර් යේෂණාගාරයේදී පරීක්ෂාවට ලක්කළේය. එම පරීක්ෂාවෙන් එය සමත් විය. මහපොළවට දැමූ විට එය සාර්ථක විය.

සාමාන්‍යයෙන් ටෙන්ඩර් පටිපාටියට අනුව පොහොර ආනයනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නම් කරන ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණාගාරයකදී අදාළ පොහොර සාම්පල පරීක්ෂාවට ලක් කෙරේ. අප පොහොර ගෙන්වන්නේ අදාළ පොහොර සාම්පලයට ලැබෙන පිළිතුර අනුවය. අප ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර එසේ පරීක්ෂාවට ලක්කළ විට එහි කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැත. යම් ප්‍රශ්නයක් ආවේ අප නිල නොවන ආකාරයට ගෙන්වාගත් පොහොර සාම්පලයක් ඊට අමතරව පරීක්ෂා කිරීමේදීය. සිදුවීම වූයේ අදාළ පොහොර සාම්පලයේ එක් කොටසක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළ පරීක්ෂාවකින් සමත් වූවත් කෘෂිකර්ම නිරෝධායන අංශයේදී අසමත් වීමය. මා හට වාර්තා වූ ආකාරයට ඊට බලපා තිබෙන්නේ අදාළ සාම්පලය ගෙන්වා තිබූ ක්‍රමවේදයේ පටන්ම වූ අවුලකි. මේ සාම්පල පරීක්ෂාවට පෙර ඒවා ප්‍රවාහනය කළ සේවා සමාගම භාරයේ සතියක පමණ කාලයක් තිබී ඇත.

පොලිතින් බෑගයක පුරවා එන පොහොර සාම්පලයට එන්නතකින් යම් දෙයක් ඇතුළු කළහොත් එහි සංයුතිය පහසුවෙන් වෙනස් කළ හැකිය. රුපියල් බිලියන ගණනක් එහා මෙහා වන රසායනික පොහොර වෙළෙඳපොළක මෙවැන්නකට යම් ඉඩක් නැතැයි කිව හැකිද? එනිසා මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි කෘෂිකර්ම අමාත්‍යාංශයට බරපතළ සැකයක් මතු වී ඇත.

අපට පොහොර සපයන බයෝටෙක් යනු ලොව විශාලතම කාබනික පොහොර සැපයුම්කරුවාය. පස හා පොහොර සම්බන්ධයෙන් දැඩි නීති පනවා ඇති ඕස්ට්‍රේලියාවටත් පොහොර අපනයනය කරන්නේ බයෝටෙක්ය. අනෙක් අතට මේ පොහොර සාම්පල එවන්නේ සෙල්සියස් අංශක 600කට රත්කරය. එවිට මේවායේ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින්නට බැරිය. මෙවැනි සිදුවීමක් වුවහොත් එය බලපාන්නේ අදාළ සමාගමේ කීර්ති නාමයටය. එනිසා මෙය සුළුවෙන් තැකිය හැකි සිදුවීමක් නොවේ. ඒ අනුව මෙම සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ඉදිරියේදී මම කටයුතු කරමි.

 කෙසේ වෙතත් මෙහිදී ගොවි ජනතාවට අවසානයේදී කිරීමට ඇති ප්‍රමුඛම අවධාරණය වන්නේ නොබියව වගා කටයුතු ආරම්භ කරන්න යන්නයි. නිසි කලට ඔබ අතට පොහොර ලබාදීමට කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට මම සහතික වෙමි. ඒ කිසිදු පොහොරක් මිනිසුන්ටවත් සතුන්ටවත් ශාකවලටවත් හානියක් නොවන පොහොරක් වීමට ද සහතික වෙමි.

(*** සංවාද සටහන- බිඟුන් මේනක ගමගේ)

 



Recommended Articles