ගම්මුන්ගේ දොරකඩටම ගෙනගිය රෝහල් සේවා


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හුදෙකලාව පිහිටි ගොමරන්කඩවල ප්‍රාදේශීය රෝහල, මේ වනවිට ‘කොවිඩ් 19’ රෝගීන් 100 දෙනකුට ප්‍රතිකාර කරයි. ‘තවමත් අප රෝහලෙන් වාර්තා වන්නේ කොවිඩ් මරණ දෙකක් පමණයි‘ යැයි ගොමරන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ශෝබා කුඹුරේගම පවසයි. කොවිඩ් මරණ මෙසේ අඩුවීමට හේතුව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ නව සෞඛ්‍ය ව්‍යාපෘතියේ සාර්ථකත්වය යැයි වෛද්‍යවරිය පෙන්වා දෙයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ, අනෙක් ප්‍රාදේශීය රෝහල් හරහා මෙන්ම, ගොමරන්කඩවල ප්‍රාදේශීය රෝහල හරහා ද නව සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් ආරම්භ විය. රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කණ්ඩායම් ගොමරංකඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවලට යමින්, අවුරුදු 35 ට වැඩි සෑම කෙනකුම පරීක්ෂාවට ලක් කරමින් ඔවුන්ට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝගී තත්ත්වය සහ වකුගඩු ආබාධ ඇතිදැයි පරීක්ෂා කළේය. ඒ ගම් වැසියන් රෝගී වී රෝහලට පැමිණෙන්නටත් පෙර රෝගී තත්ත්වය තිබේ නම් ඒවා කල්තියා හඳුනා ගැනීමේ ඉලක්කයෙනි.

‘කොවිඩ් 19’ වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින්, බෝ නොවන රෝග ඇති පුද්ගලයන්ගේ ජීවිත අනතුරේ වැටෙද්දී, ගොමරන්කඩවල ප්‍රාදේශීය රෝහල, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවල බෝ නොවන රෝගීන් කවුරුන්දැයි හඳුනාගෙන තිබීම, ලොකු වාසියක් වූ බව වෛද්‍ය ශෝබා කුඹුරේගම පැහැදිලි කරයි. එසේ බෝ නොවන රෝගවලින් පෙළන ගම්වැසියන්ට කොවිඩ් 19 ආසාදනය වූ විට ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමට ද රෝහල් කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණු බව වෛද්‍යවරිය පවසයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොමරන්කඩවල මල්ලවැව, පඹුරුගස්වැව, මැදවච්චිය, කිවුලකඩවල, ගල්කඩවල, බක්මීගම, පුලිකණ්ඩිකුලම, කන්දමලාව සහ කල්‍යාණලපුර ආදී ග්‍රාම සේවා වසම් 10 ක සියයට 60 කට වැඩි ගණනක් ආවරණය වී තිබේ. මෙම ග්‍රාම සේවා වසම්වල 7,382 ක් සිටින අතර ඔවුන්ගෙන් 3,034 දෙනකු 35 ට වැඩිය.

ජංගම දුරකතනවලට ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලබා දී පැය 12 ක් නිරාහාරව සිටින්නැයි පෙර දිනයේ උපදෙස් ලැබෙන අතර, පසු දින රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු සහ හෙදියන් දෙදෙනකු ගම්මානවල නිවෙස් වෙත ගොස් රුධිර සාම්පල ඇතුළු අවශ්‍ය සාම්පල ලබා ගැනීම සිදු කරයි. උදෑසන 6 වෙද්දී ගම්මානවලට යන එම වෛද්‍ය කණ්ඩායම උදෑසන 8 වෙද්දී ඔවුන්ගේ සාම්පල ලබා ගැනීම සම්පූර්ණයෙන් අවසන් කරයි. ගම්වැසියන්ගේ සියලු‍ වෛද්‍ය වාර්තා රෝහලේ වාර්තා පොත්වලට ඇතුළත් කෙරේ. ඒ අනුව, රෝග ඉතිහාසය ගැන වෛද්‍යවරුන්ට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයි.

වෛද්‍ය පරීක්ෂණ හරහා අවදානම් තත්ත්වයේ පසුවන ගම්වැසියන් හඳුනා ගැනීම සිදුවන අතර, ඔවුන් කඩිනමින් රෝහලට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ ඖෂධ නිකුත් කිරීම සිදු කරයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ මෙම ව්‍යපෘතිය ඉතාම සාර්ථක එකක් බව වෛද්‍ය ශෝබා කුඹුරේගම පෙන්වා දෙන අතර, ඇය පවසන්නේ කොවිඞ් ව්‍යාප්තිය හේතුවෙන් 2019 දී ආරම්භ වුණු මෙම ව්‍යාපෘතිය මේ වනවිට නවත්වා දමා ඇති බවය.

ගමින් ගමට, ගෙයින් ගෙට ගොස් රෝගීන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ ලෝක බැංකුවේ ආධාර මත, සෞඛ්‍ය අමත්‍යාංශයේ මැදිහත් වීමෙනි. එය  රට පුරා රෝහල් 350 ක් හරහා ආරම්භ වූ නමුත් මේ වනවිට කොරෝනා වසංගතය ඊට බාධාවක් වී තිබේ. කෙසේ නමුත් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීමට සමත් වූයේ රෝහල් 300 කට පමණි.

රෝගී තත්ත්වය උත්සන්න වීමට පෙර, රෝගී පුද්ගලයන් හඳුනා ගැනීමට හැකියාව ලැබීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදුවන බව එම ව්‍යාපෘතිය බාර වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැහැදිලි කර තිබේ.

‘අපට මෙම ව්‍යාපෘතිය හරහා අවශ්‍ය වුණේ බාහිර රෝගී අංශය වෙනස් කරන්නයි. සෞඛ්‍ය රැකවරණ ක්‍රියාවලිය වෙනස් කරන්නයි. වෛද්‍ය සැපැයුම් කළමනාකරණය, සෞඛ්‍ය තොරතුරු කළමනාකරණය, රසායනාගාර ජාලයක් ස්ථාපිත කිරීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට මෙම ව්‍යාපෘතිය හරහා හැකියාව ලැබුණා ‘ යැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක් රැස් කර ගන්නා රෝගීන්ගේ තොරතුරු සහ ඔවුන්ගේ වෛද්‍ය වාර්තා සුරක්ෂිතව රජයේ දත්ත ගබඩාවට ඇතුළත් කෙරෙයි. ඒ අනුව එම ජාලය හරහා ඕනෑම රෝහලකින් අදාල රෝගියාගේ විස්තර වාර්තා වෛද්‍යවරයාට ලබා ගැනීමට හැකි බවත් නව තාක්ෂණය මෙම ව්‍යාපෘතියට පහසුවක් බවත් සෞඛ්‍ය තොරතුරු පිළිබඳ අධ්‍යක්‍ෂක වෛද්‍ය පාලිත කරුණාපෙම පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කය කෙළවර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි උඩවලවේ කුඩා රෝහලේ වෛද්‍ය වසන්ත කුමාරසිරි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වයි.

“උඩවලවේ රෝහල පිහිටුවූයේ 1963 වසරේදී. රෝහල මගින් 10,000 කට පමණ ප්‍රතිකාර ලබා දීම සිදුවෙනවා. ඒත් ප්‍රදේශවාසීන් රෝහලට පැමිණෙන්නේ අමාරුවක් දැනුණාම පමණයි. එය ප්‍රමාද වැඩි වන අවස්ථා තිබෙනවා. ඒත් මෙම නව ව්‍යාපෘතිය හරහා අප ගමින් ගමට ගිහින් රෝගීන් කවුරුදැයි ඔවුන්ට ඇති ආබාධ මොනවාදැයි හඳුනා ගන්නවා. යහපත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට මඟ පෙන්වනවා. රෝගී අය අදාල සායනවලට යොමු කරනවා.’’

(***)

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ පරිවර්තනය

- ලුසිත ජයමාන්න



Recommended Articles