මල්වතු මහ නාහිමිගේ ප්‍රකාශය කාලෝචිත එකක්


මෙරට දේශපාලනය සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමියෝ පසුගියදා ඉතා වටිනා ප්‍රකාශයක් සිදු කළහ. එම ප්‍රකාශය මෙරට පිළිගත් සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇස් අරවනු ඇතැයි අපි සිතමු. එම ප්‍රකාශයේ ඍජුවම සඳහන් වී තිබුණේ රටට ජනතාවට අවංකවම හිතැති දේශපාලනඥයන් මෙරටින් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවය. බහුතරයක් දේශපාලනඥයන් බලයට පැමිණීමට පෙර පැවැසූ දේ බලයට පැමිණි පසු අමතක කරන බවය.

මහ නාහිමියන් බැහැදැකීමට පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් හමුවේ උන්වහන්සේ එම ප්‍රකාශය සිදුකළහ. රටේ වෙනසක් පතා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වංචා, දූෂණවලට එරෙහිව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් වහන්සේගේ ආශිර්වාදය හිමි වන බව ද මහ නාහිමියෝ එහිදී ප්‍රකාශ කළහ.

මල්වතු මහ නාහිමියන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්තේ රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව තමන් වහන්සේ තුළ පවතින අවබෝධය සහ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ දැනුවත්වීම් සැලකිල්ලට ගැනීමෙන් බව පැහැදිලිය. උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ රටේ නීතිගරුක, සාමකාමී අති බහුතරයක් ජනතාවගේ අදහස බව අපගේ ද පිළිගැනීමය. බලය ලබාගන්නා බොහෝ ආණ්ඩුවල බලවත් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මහා පරිමාණ සියලු වංචා සහ දූෂණ යටගසන බවත් සාමාන්‍ය පුද්ගලයකු සිදු කරන වැරැදි සම්බන්ධයෙන් තදින්ම ක්‍රියාත්මක වෙන නීතිය බලවත් බවත් දේශපාලනඥයන් සහ ආණ්ඩුවේ ගජ මිතුරු හවුල්කරුවන්ගේ බරපතළ වංචනික සහ දූෂිත ක්‍රියා හමුවේ මඩේ සිට වූ ඉන්නක් මෙන් හැම පැත්තකටම නැවෙන බවත් මහජනතාව අතර පවතින පොදු මන්ත්‍රයකි. මහ නාහිමියන්ගේ ප්‍රකාශයේ ගැබ් බී ඇත්තේ එම මන්ත්‍රයේ හරයයි. අවාසනාවකට මෙන් අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන්ට මේ බව වැටහෙන්නේ නැත. නැතහොත් ඒ බව දැන දැනම කිසිවක් නොදන්නා සේ හැසිරෙති. එහෙම රටක් ආර්ථික අර්බුදයකට මුහුණදීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත.

මහ නාහිමියන්ගේ ඉහත සඳහන් ප්‍රකාශයට වඩාත් වටිනාකමක් එකතු වන්නේ මේ මැතිවරණ වසරක ආරම්භයද බැවිනි. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිතව තිබේ. මහ මැතිවරණය නියම වී තිබෙන්නේ 2025 වසරට වුවද ජනාධිපතිවරණයෙන් පසුව බොහෝ දුරට පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට හොඳටම ඉඩකඩ තිබේ.

ඒ අර්ථයෙන් ගත් කල මෙවන් ප්‍රකාශයක් සිදු කිරීමට මීටත් වඩා සුදුසු අවස්ථාවක් නැත. මහ නාහිමියන් එම ප්‍රකාශය හරහා ලබාදෙන ප්‍රබල පණිවුඩය ග්‍රහණය කර ගැනීමට දේශපාලන පක්ෂ නායකයන් සමත් වුවහොත් ඉදිරි කාලයේදී හෝ වඩාත් විශ්වාසදායී මැති ඇමැතින් පිරිසක් බිහිකර ගැනීමට අවශ්‍ය වාතාවරණය සැකසෙනු ඇත. එහෙත් අපේ රටේ පවතින වත්මන් දේශපාලන සංස්කෘතිය අනුව එවැනි වාතාවරණයක් සම්බන්ධයෙන් තබාගත හැක්කේ ඉතා සුළු බලාපොරොත්තුවක් පමණි.

දේශපාලනය තුළදීත් රටේ පාලනය ගෙන යාමේදීත් සුදුසු සහ ගැලපෙන සැලසුම් සකස් කරගත හැකි වුවහොත් එය ඉලක්ක ජය ගැනීමේ සටනේ අඩක් සම්පූර්ණ කිරීමකි. එහෙත් ශ්‍රී ලංකාවට අද පත්ව තිබෙන දැඩි අසීරු තත්වයට මුහුණ දීමට සිදුව ඇත්තේ එවැනි උපායමාර්ගික සැලසුම් සකස් කර ගැනීමකින් තොරව තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාත් බලය රැක ගැනීම සඳහාත් තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයන්ගේ කෙරුවාව හේතුවෙනි. එවැනි දේශපාලනඥයන් තීන්දු ගන්නේ රටට ජනතාවට හිතැති ආකාරයට නොවේ. තමන්ගේ බඩගෝස්තරය අංක එකට තබා ගනිමිනි. බලයට පැමිණීමට පෙර සිදු කරන ප්‍රකාශත් බලය ලබා ගැනීමෙන් පසුව ඒවා අමතක කරමින් කටයුතු කිරීමත් සිදු වන්නේ ඒ හේතුවෙනි.

මහ නාහිමියන් ප්‍රකාශ කරන්නේ එවැනි බඩගෝස්තරවාදී දේශපාලනඥයන් වෙනුවට රටට ජනතාවට ආදරය කරන කෙනකු රටේ පාලනයට ගෙන ඒමට අවශ්‍ය යැයි ජනතාවගේ මූලික ඉල්ලීමක් තිබෙන බවය. එහිදී වඩාත් ඒ පිළිබඳ වගකීම ඇත්තේ මහජනතාව අතේම බව ද පෙන්වා දිය යුතුය. තමන්ට ලැබෙන විවිධ වරදාන සහ වරප්‍රසාද අපේක්ෂාවෙන් නායකයන් සහ මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව වඩාත් පුළුල් ලෙස රටේ යහපත් අනාගතය වෙනුවෙන් සිතා තීරණය ගැනීමේ අයිතිය තිබෙන්නේ ජනතාව සතුවය. එම අයිතිය නිසි අයුරින් කල්පනාකාරීව ඉටු කිරීමෙන් යහපත් නායකයන් සහ මන්ත්‍රීවරුන් බිහිකර ගත හැකිවනු ඇත. රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට යෝග්‍ය නායකයන් බව කියන්නේ කට කහනවාට නොවේ.

(***)