හිඟමන් ලැබුණු බත්පත රුපියල් 300 කට විකුණලා


පුද්ගලික ආයතනයක් අසලට ඉඳහිට පැමිණෙන යාචකයෙකි. පිරිසිදු ඇඳුමෙන් සිටින ඔහුට සමහරු මුදල්වලින් හා ආහාර පානවලින්ද සංග‍්‍රහ කළහ. ආයතනයේ සේවකයෙක් සමග කුළුපග වූ හෙතෙම පැවසුවේ දිනපතා සිඟමනේ නොයෙදෙන බවකි. ආයතනයේ ප‍්‍රධානියෙක් මෙම සේවකයා ලවා ආහාර පැකට්ටුවක් ගෙන්වා ගැනීම සිරිත විය. සේවකයාට මෙම කෑම ඇදීම එපා වී තිබුණේ ගෙනෙන කෑම පාර්සලය රස නැතැයි නිලධාරියා පවසන නිසාය.

දිනක් වෙනත් ආයතනයක නිලධාරිනියක් තම පියා සිහිකර හෝටලයෙන් මිලදී ගත් කෑම පාර්සලයක් පෙරකී යාචකයාට ලබාදුන්නාය. යාචකයා මස්වර්ග නොකන නිසා කෑම පාර්සලය කාටත් හොරෙන් සේවකයාට දී, ‘‘මහත්තයා මේක චිකන් කෑම එකක්. මහත්තයා කන්න.’’ යනුවෙන් පැවසීය. මේ අතර එදිනද සේවකයාට මුදල් දුන් නිලධාරියා, ‘‘හොඳ තැනකින් චිකන් කෑම එකක් ගේන්න’’ යැයි කීය. සේවකයා තමාට ලැබුණු කෑම පාර්සලය බෑගයක දමාගෙන එළියට ගොස්, කෑම අසුරණයේ සඳහන් දුරකතන අංකයට කතාකොට, ‘‘චිකන් ෆ‍්‍රයිඞ් රයිස් එකක් කීයදැයි’’ විමසූ විට ‘‘රුපියල් තුන්සීයයි’’ පිළිතුරු ලැබිණි. ස්වල්ප වේලාවක් නගරයේ රස්තිියාදු වූ ඔහු ප‍්‍රධානියා වෙත ගොස් යාචකයාගෙන් ලද කෑම පාර්සලය ලබාදුන්නේය. එය අනුභව කළ ප‍්‍රධානියා සේවකයා අමතා ‘‘ෂා කෑම රසයි... මීට පස්සේ එතනින් ගේන්න’’ යැයි පැවසීය. සේවකයාට තරු විසිවුණේ කෑම පාර්සලය සපයනු ලැබූ හෝටලය ඇත්තේ කොතැනකදැයි ඔහු නොදන්නා බැවිනි.