හිඟමනටත් මීටරේ තියාගෙන


(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක පාලමක් අයිනේ සිඟමන් යදින ලද වියපත් පුද්ගලයකු දුරස්ථ ක්‍රමය අකුරටම අනුගමනය කරමින් සිය ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගිය ආකාරය පසුගිය දා අපට දක්නට ලැබිණ.


කොරෝනා - 19 උවදුර ඒමට පෙර තමා ළඟ තිබූ ටින් එක සොලවමින් ආධාර එකතු කළ ඔහුට මෑතක සිට පෙනී ගියේ ඒ අසලින් ගමන් කරන අය තම ටින් එකට මුදල් දැමීමට සමීප නොවන බවකි.


සමහරුන් ඈත සිට මුදල් වීසි කළේ දුරස්ථභාවය රකිමිනි. එසේ විසිකළ මුදල් ඈතට විසි වූ විට ඔහුට ඒවා ගැනීමට අපහසුව තිබුණේ කකුලක වූ ආබාධයක් නිසාය.


මේ නිසා ඔහු මීටරයක් දිග කෝටුවක අග ටින් එක සවිකොට එය ඈත සිට දිගු කර සෙලවීමෙන් ආධාර එකතු කළ අතර පෙර පිනට යමක් නුදුන් අය පවා සිනාසෙමින් ටින් එකට මුදල් දැමීම නිසා ඔහුගේ අත මිට වැඩියෙන් සරුවී ඇතැයි පවසන්නේ කොරෝනාවට තම ප්‍රසාදය ද පළ කරමින්ලු.