සූර්පිට බැංකු ඇවිත් ඒ.ටී.එම්. මැෂිමට ලයිසන් පත දාලා


‘‘පනස් පහයි විසිතුන’’ කියමින් සිය බැංකු කාඞ්පතේ පින් අංකය මුමුණමින් ඔහු ස්වයංක‍්‍රීය මුදල් යන්ත‍්‍රය අසලට ගියේය.

එහි උපදෙස් පරිදි කාඞ්පතේ මුදුනත අදාළ ස්ථානයට ඇතුළු කළේය.

කාඞ්පත නැවතත් එළියට ගත් ඔහු අනෙක් කෙළවර යන්ත‍්‍රයට ඇතුළු කළේය.

එය ද කළ නොහැකිය.

යන්ත‍්‍රය කාඞ්පතේ දෙපැත්තෙන් එක් පැත්තක්වත් පිළිගැනීමට සූදානම් නැත.

කලිසමේ වම් සාක්කුවට අත දැමුවේය. හිස්ය. අනෙක් පස්ස සාක්කුවට අත දැමුවේය.

එහි ඇත්තේ රුපියල් පහක් පමණි.

හරි වැඬේ දැන් කොහොමද එළවළු අරගෙන යන්නේ. තමා අත තිබූ මුදලින් යාබද තැබෑරුමකින් අඟපත රත්කරගත් ඔහු සිතුවේ බැංකු කාඞ්පතින් මුදල් ගෙන එළවළු රැගෙනයාමටය.

නමුත් දැන් බැංකු කාඞ්පත ක‍්‍රියා කරන්නේ නැත.

වරක් පිටි අල්ල මුව අසලට ළංකර ඈනුමක් ඇරියේය.

වහා යාබද දොරටුවෙන් බැංකුවේ ඇතුළට පිවිසියේය.

”කො.... කොහේද මැනේජර් මහත්තයා ඉ.. ඉන්නේ.”

යාබදව සිටි ආරක්ෂක නිලධාරියාගෙන් එසේ ඇසූ ඔහු සුළු වේලාවකින් කළමනාකරු හමුවීය.

”මැනේජර් මහත්තයා මේ... මේ... කාඞ් එක වැඩ කරන්නේ නැහැනේ.”

”කෝ... බලන්න...”

කළමනාකාරවරයා කාඞ්පත අතට ගත්තේය.

”අනේ මහත්තයෝ මේකෙන් සල්ලි ගන්න බැහැ.”

මඳ සිනාවක් මුවගට නඟා ගනිමින් කළමනාකරු දෙවනුව එසේ කියද්දී කෝපය ඉහවහා ගිය ඔහු මෙසේ කීවේය.

”මොනවා සල්ලි ගන්න බෑ. සල්ලි තැන්පත් කරගන්න හොඳයි. සල්ලි ගන්න ගියාම තමයි දහයක් රෙගුලාසි.”

”මගේ පඩියම මේ බැංකුවටයි එන්නේ. කොහොමද සල්ලි ගන්න බැහැයි කියන්නේ.” කළමනාකාරවරයා එවිට තවත් සිනාසෙන්නට විය.

”නෑ නෑ මහත්තයා. මහත්තයාගේ සල්ලි බැංකුවේ ඇති. ඒත් මේ කාඞ් එකෙන් සල්ලි ගන්න බැහැ කියලයි මම කිව්වේ.”

”මොනවා... සල්ලි ගන්න බෑ. මම ඊයෙත් මේ කාඞ් එකෙන් සල්ලි ගත්තනේ. මේ මේ තියෙන්නේ රිසිට් එක..”

ඔහු රිසිට් පතක් ද පෙන්නුවේය.

”හරි හරි මහත්තයා ඔය සල්ලි ගන්න ඇත්තෙ වෙන කාඞ් එකකින්. මේක සල්ලි ගන්න පාවිච්චි කරන්න බෑ. මොකද මේක ලයිසන් එකක්.”

”ඒ කියන්නේ රියැදුරු බලපත‍්‍රයක්” කළමනාකාරවරයා පැවසූ දෙයින් ඔහුට මත් ගතිය මඳක් පහව යන්නාක් මෙන් දැනුණේය.

කමිසය අත ගා පිටුපස සාක්කුව අතගෑවේය. බැංකු කාඞ්පත එහි සුරක්ෂිතව තිබුණේය.