සුවඳ දුම් යැයි අන්දා ලී කුඩු පැකට් විකුණලා


තම නිවසේ කොටසක වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. කුඩාවට පටන් ගත් වෙළෙඳසල සුළු කාලයක දී ශීඝ‍්‍ර දියුණුවක් ලැබීය.

දිනක් ත‍්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකි. අයකුගේ අතේ ආගමික ස්ථානවල සහ නිවෙස්වල පාවිච්චියට ගන්නා සුවඳ දුම් පැකට් බණ්ඩලයක් විය.

”මුදලාලි හොඳ කොලිටියේ සුවඳ දුම් පැකට් තියෙනවා” යැයි පැවසූ අනෙකා පැකට්ටුවක් කඩා එහි ඇති කුඩු මුදලාලිගේ නාසයට ළං කළේය. ඒවා ඉස්තරම්ම සුවඳ ධූප වර්ගයක් බව සුවඳින්ම මුදලාලිට වැටහී ගියේය. පැකට්ටුව අලංකාර දවටනයකින් ආවරණය වී තිබිණි. ලියාපදිංචි අංකය සහ මිල ද එහි සටහන් වී තිබිණි.

”කොහොමද දාන්නේ” මුදලාලි විමසීය. ”

එකක් විකුණන්නේ රුපියල් 30යි. පැකට් සියයක් ගන්නවනම් එකක් පහළොව ගානේ දෙන්න පුළුවන්. සියයට අඩුවෙන් ගන්නවා නම් එකක් රුපියල් විස්සයි”

මුදලාලිගේ පලපුරුද්ද අනුව පැකට් සියයක් ගැනීම විශාල ලාභයක් බව ඔහුට වැටහිනි. හෙතෙම රුපියල් එක්දාස් පන්සීයක් ගෙවා පැකට් සියයක් ගෙන වෙළෙඳසලේ එල්ලා තැබීය. සවස දුම් ඇල්ලීම සඳහා කඩන ලද පැකට්ටුවේ කුඩුවලින් දුම් ඇල්ලූ විට සුවඳ දුම් කඩයේ පමණක් නොව පාර පුරා ද විහිදෙන්නට විය. අසල නිවැසියෙක් පැකට්ටුවක් මිලදී ගත්තේ ”ෂා පුදුම සුවඳක්නේ” කියමිනි. සුළු වේලාවකින් ඔහු ”මුදලාලි මේකේ තියෙන්නේ ලී කුඩුනේ” යැයි පැවසීය. පසුව පරීක්ෂා කළ විට දක්නට ලැබුණේ සෑම පැකට්ටුවකම ඇත්තේ ලී කුඩු බවය.