සැමියාගේ සාක්කුවෙන් පැන්න බිල්පතට බිරිය අඩව් අල්ලලා


(තිහගොඩ- උපසේන ලියනගම)
හෝටල් කාමරයක දෙදෙනකු නතරවී සිටීමේ බිල් පතක් තම සැමියාගේ කමිස සාක්කුවේ තිබී හමුවූ බිරියක් සැමියා සමග මහා අඩව්වක් ඇල්ලීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ කළුතර නාගරික ප‍්‍රදේශයකිනි.


පසුගිය සතියේ රාජකාරි ගමනක් ගොස් සිටි ඔහු දින තුනකට පසු ගෙදරට පැමිණ විවේක ගනිද්දී ඔහුගේ කමිස සෝදමින් සිටි බිරිය සාක්කුවේ වූ කොළ කැබැල්ලක් රැගෙන ඔහු වෙත ආවේ දෙ අතේවූ සබන් පෙණද ගසා දමමිනි. ‘‘රාජකාරියෙ ගියාද? හෝටෙල් ගානෙ ගියාද?’’ ඇයගේ වේගවත් ප‍්‍රකාශයෙන් අන්දමන්ද වූ ඔහු ඇයගෙනා බිල්පත පරීක්‍ෂා කළේය.


රාජකාරිය කරද්දී තම හිතවතකුගේ දුරකථන ඇමතුම් අංකයක් ලියා ගැනීමට ඉල්ලාගත් මේ කොළ කැබැල්ල හෝටලයක බිල්පතක් බව ඔහු මේ වනතෙක් දැන හිටියේ නැත. එම බිල්පත පසුපස වූ දුරකථන අංකය පෙන්වා සත්‍ය තොරතුරු කීවත් බිරිය එය පිළිගත්තේ එහිවූ අංකයට කතාකිරීමෙන් පසුවලූ.