සාදයේදී සූර්වී වාහනය මාරුකරගෙන ඇවිත්


(කොටපොල - කේ. ප‍්‍රදීප් නිරෝෂන්)
ඔහු වයස්ගත පුද්ගලයෙකි. මිල මුදල් යහමින් ඇති බැවින් විනෝදවීමට ඉතා කැමැත්තක් දක්වයි. නැටුමට ගැයුමට ප‍්‍රියතාවක් දක්වන නිසා නිතර සැඳෑ සාදයන්ට සහභාගී වෙයි.


පසුගිය දිනෙක හෝටලයක සැඳෑ සාදයක් පැවැත්විණි. ඔහුට ද ඇරියුම් ලැබිණි. ඔහු සාදය සඳහා ගමන් ගත්තේ රතුපාට ට‍්‍රක් රථයකිනි. රථය හෝටල් රථ ගාලේ නැවැත්වූ ඔහු සිනාමුසු මුහුණින් සාදයට එක් වී මධුවිත තොල ගාන්නට විය. ඔහුගේ රථයේ වර්ගයේම කොළ පාට ට‍්‍රක් රථයක් හෝටල් රථගාලේ ඔහුගේ රථය අසලම නවතා තිබිණි.


පැමිණි සිටි සියලූදෙනා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මධුවිත පානය කළ ඔහුට නැටුමට සිත්විය. ඔහු ගැන හොඳින් දැන සිටි බිරිය සහ පුතා දුරකතන ඇමැතුමක්දී ‘‘දැන් බිව්වා ඇති ගෙදර එන්න’’ යයි පැවසූහ. එහෙත් ඔහු නැටුම නැවැත්වූයේ නැත. තවදුරටත් නිවෙසින් දුරකතන ඇමැතුම් ගලා එන්නට විය. බේරුමක් නැති තැන හොඳට සූර් වී සිටි ඔහු නිවෙසට යාම සඳහා රථයට ගොඩ විය. ඔහුට තමා පැමිණි රථය ද අමතක වී අසල නවතා තිබූ කොළ පාට ට‍්‍රක් රථයෙන් ගෙදර ගියේ යතුර ද එහිම තිබූ බැවිනි.


නිවෙසට ළඟා වූ පසු පුතා ගේට්ටුව විවර කරන විට දක්නට ලැබුණේ පියා වෙනත් වාහනයකින් පැමිණ ඇති බවයි. ‘‘කෝ අපේ වාහනේ. ඒක කාටද දුන්නේ? මේක මොකටද ගෙනාවේ? යනුවෙන් අසනතෙක් තමා පැමිණියේ වෙනත් වාහනයක බව ඔහු දැන සිටියේ නැත. සිය පුතා ද සමඟ ආපසු වාහනයට නැගුණු ඔහු තමාගේ වාහනය රැුගෙන ඒම සඳහා හෝටලය වෙත නැවත පැමිණෙන තෙක් සාදයේ සිටි අය ද ඒ බව දැන සිටියේ නැත. ඔවුන් නැවත පැමිණි පසු සූර් වී වාහනය මාරු වී ඇති බව සියලූ දෙනා දැන ගත්හ. පැමිණ සිටි අය අතරින් කිහිප දෙනකු හූ හඬ දී සිනාසෙන විට ඔහුට වගේම පුතාට ද ලජ්ජාව ඉවසාගත නොහැකිව දෙවියන් සිහි වුණාලූ.