වාහනයට වැරැදි තෙල් දැමුවැයි සේවකගේ වැටුපෙන් කපලා


(මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉඩම් වාහනයකට නියමිත දැවි තෙල් වර්ගය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් දැමීමෙන් රුපියල් දහසය දහසක පාඩුවක් වුණායි කියා එහි අලාභය රියදුරාගෙන් අයකරනු වෙනුවට වගාව බලාකියා ගත් සේවකයකුගෙන් අය කිරීමේ නූතන කැකිල්ලේ තීන්දුවක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.


විශාල පරිමාණයේ වගා බිමකි. වගාව බලාකියා ගැනීමට සේවකයකු බඳවා ගත්තේ මසකට රුපියල් විසිදහසක වැටුපක් ගෙවන බව පවසමිනි. වත්තේ සේවයට යොදා තිබූ ඉඩම් වාහනයක් දැවි තෙල් හිඟයක් නිසා අක‍්‍රියවී තිබිණි. එහි රියැදුරා සමග තෙල් ගෙන ඒමට ගියේ වගාව බලාගත් පුද්ගලයාය.


කලක් ගත විය. වගාව බලාගත් සේවකයා සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය බව කීවේය. යන්න පුළුවන්. හැබැයි එදා ට‍්‍රැක්ටරයට වැරදි තෙල් වර්ගයක් දැමීම නිසා සිදුවූ අලාභය ගෙවන්න වේවි. අයිතිකරුත් පාලකයාත් පැවසීය. තමන්ගේ අවශ්‍යතාව නිසා සේවකයා අලාබය බව කියන රුපියල් දහසය දහස ගෙවා සේවයෙන් ඉවත් වූයේය. වැරදියට දැමූ බව කියන දැවිතෙල් ලීටර හතළිහකට ආසන්න ප‍්‍රමාණය ගෙනයාමට දෙන බව දැන්වුවත් අන්තිමේ දී ඔහුට ලැබුණේ ලීටර් බාගයකටත් අඩුවෙනි. ඉතිරිය පසුව සොයා දෙන බවද දන්වනු ලැබීය. ලැබුණු ලීටර් බාගයත් එහිම තිබිය දී එය වාහනයේ රියදුරාටම දෙන්න කියා සේවකයා පිටව ගියේ කැකිල්ලේ තීන්දුවට හිස නමමිනි.