වලාකුළක් එක්ක රේස් ගිහින් රෝහලේ


යතුරුපැදිය අද තරුණයන් අතර ජනප්‍රිය අධිවේගී වාහනයකි. එවැනි වාහනයකින් සිදු වු අපූරු කථාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.  


ඔහු මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක සිට අග  නගරයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයේ රැකියාවකට දිනපතායාමට පුරුදුව සිටියේ බස් රථයෙනි. එහෙත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහු  තම ආරක්ෂාවටත් ගමන් පහසුව සඳහාත් අඩු මුදලකට යතුරුපැදියක් මිලට ගත්තේය. රථ වාහන අඩුවෙන් ධාවනය වන එම මාර්ගයේ හමුවන කවුරුන් හෝ තම යතුරුපැදියෙය් නංවාගෙන යාම ඔහුගේ සිරිත විය. දිනක් රැකියා ස්ථානයට යන ඔහුට තම හිත මිතුරකුද යතුරුපැදියේ නංවාගෙන යාමට සිදු විය. ඔහුගේ නිවසේ සිට රැකියා ආයතනයට දුර කිලෝ මීටර් 45 ක් පමණ විය. ටික දුරක් යන විට හිටි හැටියේ අහස කළු විය. වැහි වළාවක් දක්නට ලැබිණි. මොකද කරන්නෙ තව ටික වෙලාවකින් වහින්න වගෙයි ඔහු කීය. එවිට පිටුපස සිටි යහළුවා අපූරු පිළිතුරක් දුන්නේය. ‘‘මචං බයික් එකේ වේගය වැඩිකරපං ඔය පෙනෙන වළාකුල පහුකරං යමං එතකොට වැස්ස අපට පහු වෙනවා’’ එහෙම වෙන්​නේ නැහැනෙ බං අපට පුළුවන්ද වළාකුළු පසුකරගෙන යන්න ඔහු කීය. ’’උඹ මං කිව්වට ඇරල යමං’’ ඔහු පෙරැත්ත කළේය.


මිතුරාට වැඩි උගත් කමක් නැති වුණත් මිතුරා කියන දේ ඇත්තක් ඇතැයි ඔහුටද සිතුණි තමාටද වෙලාවට ආයතනයට යාමට සිතා ඔහුද යතුරුපැදියේ වේගය වැඩි  කළේය. ඔවුන්ට වැඩිදුරක් යාමට නොහැකි විය. කලබලයෙන් මෙන්  අතුරු පාරකින් ආ යතුරුපැදියක ගැටී ඔවුන් බිම ඇද වැටිණි. තිදෙනාටම තුවාල සිදුවිය. ඔහු තම මිතුරාට දොස් තැබුවේ තමා අමාරුවේ වැටුණේ මෝඩ අදහස් පිළිගත් නිසායයි දෙස් දෙවොල් කීය. වළාකුළු පරදා ධාවන තරගයකට සූදානම් වූ මිතුරන් දෙදෙනා අන්තිමට නතර වූයේ රෝහලක ඇඳන් මතය. 

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්