(කැලණිය ලාල් එස්. කුමාර)
ඌරු ගොවිපොළේ ඉඳුල් එකතු කරන ලොරි රථයයැයි සිතා මාළු විකුණන ලොරි රථයට තම නිවෙසේ තිබූ ඉඳුල් දැමූ කාන්තාවක පිළිබඳ කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
මේ ප්‍රදේශයේ නිවාසවල එකතුවන ඉඳුල් ගෙනයාමට ඌරු ගොවිපළක ලොරි රථයක් සතියකට දින දෙක තුනක් අලුයම් කාලයේ පැමිණෙයි. මෙදින ද සිය නිවෙස ඉදිරිපිට ලොරි රථයක් නවත්වන ශබ්දය ඇසී මෙම කාන්තාවද කුස්සියේ සිට ඉඳුල් ලොරිය දැයි කියා තම දියණියගෙන් විමසද්දී ඇය පැවැසුවේ වෙනත් ලොරියක් බවයි.
කෙසේ නමුත් ඒ සැණෙකින් ඌරු ගොවිපළේ ලොරි රථයද පැමිණි අතර එහි සේවකයා ඉඳුල් ඉඳුල් කියා කෑ ගසන ශබ්දය ඇසීමත් සමග එම කාන්තාව ඒ වන විට කුස්සියේ උදේ ආහාර පිසිමින් සිටියාය. ඉඳුල් බාල්දිය දුටු ඇය එය ඉවත් කිරීමට සිතුවත් ඒ වන විට ඇය සිටියේ රාත්‍රී ඇඳුමෙන් නිසා එයට උඩින් වෙනත් ඇඳුමක් දමා ගැනීමට කාමරයට පිවිසියාය.
ඇඳුමක් දා ගත් ඇය ඉඳුල් බාල්දිය රැගෙන යන විට ලොරි රථය ඉදිරියට යන බව දුටුවාය. ඒ පසුපස දුව ගිය ඇය ඉදිරියට ඇදෙන ලොරි රථයේ පිටුපස තිබූ භාජනයට ඉඳුල් බාල්දියේ තිබූ ඉඳුල් හැලුවාය. ලොරියේ සිටි සේවකයා සිදුවූයේ මොකක්දැයි නොදැනම එම කාන්තාවගෙන් මෙකක්ද කළේ යැයි ඇසුවේය. එවිට ඇය පැවසුවේ ඉඳුල් ටික දැම්මේ යැයි පවසනවාත් එක්කම සේවකයාට කේන්ති ගියේය.
මේක ඉඳුල් ලොරිය කියල හිතුවද ඉඳුල් ලොරිය අර තියෙන්නේ ඉස්සරහා මේක මාළු ලොරිය දැන් ඉතින් මේ ඉඳුල් දැමූ භාජනයේ තිබෙන මාළු ටික ගන්න එකයි ඇත්තේ යැයි සේවකයා කේන්තිය ඉහ වහා ගොස් පැවසීය. හරි හරි මට වැරැද්දක් වුණා. ඔතන මාළු කොච්චර තියෙනවද බලලා මට දෙන්න යැයි ඇය පවසනාවාත් සමගම සිද්ධිය සමථයකට පත් විය.