(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
ආයතන ප්‍රධානියාට ළංවීමට ගොස් ආයතන ප්‍රධානියාට පමණක් නොව මුළු ආයතනයටම මුහුණ දීමට නොහැකිවූ පුද්ගලයකු ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.
හේ මාන බල බල සිටියේ ආයතන ප්‍රධානියා තමාට කිට්ටු කර ගැනීමටය. එයට හේතු කිහිපයක්ම තිබිණ. එකක් ඔහු සමග ඇසුරු කිරීම ලොකු ගෞරවයක් ලෙස සිතීමය.
අනෙක ෂෝට් ලීව්, ෂේප් ලීව්, පොඩි පහේ අතිකාල පාරක් දමා ගැනීම වැනි සිල්ලර කාරණාය.
මේ සඳහා අවස්ථාව උදාවනුයේ ආයතන ප්‍රධානියා ඇතුළු පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ඔහු පදිංචි නගරය හරහා කොළඹ සිට කතරගම බලා යාමට යොදාගෙන තිබූ රාජකාරි ගමනය. මෙය ඇසූ සැනින් ඔහුගේ ඉහේ මලක් පිපුණාක් මෙන් විය. බොස්ලා කතරගම යන අතරමග සිය නගරයේ ඉතාම සුන්දර තැනක පිහිටි නිවාඩු නිකේතනයක ඔහු පුංචි පහේ පාටියක් සූදානම් කරන්නේ ඒ අනුවය.
බොස් සමග ඔහු එකම මේසයේ දැන් සිටියේය. මෙය සිහිනයක් දැයි ඔහුට කිහිප අවස්ථාවකම සිහිවුවත් බොස් තමා සමග එකම මේසයේ සිටිනු සැබෑවක් බැව් දැනුණු විට ඔහුගේ සතුට නිම්හිම් නැතිවූවාක් සේ විය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් තිබිණ. හදිසියේම ඔවුන් පාටිය දැමූ නිවාඩු නිකේතනය ඉදිරිපිට ත්‍රිරෝද රථයක් නතර කෙරිණ. එයින් බැසගත් කාන්තාවක් සාදය මැදට පැන්නාය.
‘හා තමුසේ අදත් මේ වැඩේනේ. ගෙදර දරුවන්ට කන්න මෙලෝ දෙයක් නැහැ. තමුසේ මෙතන පාටි දමනවා. අනේ හැබෑටම මෙහෙමත් මිනිහෙක්. මම අද කිව්වානේ බොන්න එපා. බොන තැන හොයාගෙන එනවා කියලා. එනවා දැන් ඉතිං ගෙදර යන්න...’ කියමින් ඔහුට කිසිම දෙයක් කතා කරන්නට ඉඩ නොදී ඇදගෙන ගොස් ත්‍රිරෝද රථයේ නංවාගෙන යන්න ගියාය.
සිදුව ඇති දේ තේරුම් ගැනීමට බොස් ඇතුළු පිරිසට වැඩි වේලාවක් ගත නොවීය.
මේ නිසාම ඔහු සූදානම් කළ සාදයේ බර පැන ගෙවන්න සිදුවුණේද බොස් ඇතුළු පිරිසටය.
ආයතන ප්‍රධානියාට කිට්ටු වෙන්න ගොස් භාර්යාව කළ මේ අවනම්බු සහගත වැඩය නිසා දැන් ඔහුට මුළු ආයතනයටම මුහුණ දී ගන්නට බැරිව වෙන සේවා ස්ථානයකට මාරුවීමක් ගැනීමට දිවා රෑ නොබලා මහන්සි වෙනවාලු.