ඥාතියකුගේ උත්සවයකට සහභාගී වීමට බිරියත් සැමියාත් ගේ වසා දමා පිටත් වූයේ සුපුරුදු පරිදි මල් පෝච්චිය යට යතුර සඟවාය. පසුදා ගෙදර ආ ඔවුන් නිවසේ යතුර මල් පෝච්චිය යට නොමැති බව දැක, විපරම් කර බැලූ විට වෙනත් මල් පෝච්චියක් යට තිබී හමුවිය.
මේ ගැන සැකයෙන් දොර ඇර බැලූ භාර්යාව කෙළින්ම ගියේ අල්මාරිය ළඟටය. අල්මාරිය උඩ තිබූ යතුරෙන් ඇය අල්මාරිය විවර කළාය. ඇයගේ පවුම් හතරක රන්මාලයත්, ඉමිටේෂන් ආභරණත් අතුරුදන් වී තිබිණි. ‘‘අනේ මගේ මාලේ’’ ඇය සිහිසුන්ව ඇද වැටුණාය. සැමියා වහා මුහුණට වතුර ස්වල්පයක් ඉස ඇය සිහිගන්වා ‘‘බලන්න අල්මාරියේ වෙන තැනක තිබ්බද කියලා’’ යැයි පැවසීය. අල්මාරියේ කොනක සිට පරීක්‍ෂා කළත් මාලය හමු නොවීය. දෙදෙනාම පිටුපස දොර හැරගෙන එළියට පැමිණි විට මල් වැටේ යමක් හිරු එළියට දිලිසෙනු දක්නට ලැබුණි. පුදුමයකි. බිරියගේ රන්මාලය මල් වැටේ එල්ලෙමින් තිබිණි.
‘හොරා මේක ඉමිටේෂන් මාලයක් කියලා හිතලා විසි කරලා අල්මාරියේ තිබුණු ඉමිටේෂන් මාල වළළු අරගෙන ගිහින්. රන්මාලය සිඹිමින් ඇය පැවසුවාය. දුක් මහන්සියෙන් හම්බකරලා ගත්තු එකක්නේ. ඒකයි ආපසු ලැබුණේ. අපටත් හොඳ පාඩම් දොර වහලා යතුර මල් පෝච්චිය යට තියලා යනවාට’’ සැමියා පැවසීය.

