මුදල් පසුම්බිය ඉස්සූ ගැටකපන්නාට ලක්ෂයක තෑග්ගක් දීලා


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය මුදල් පසුම්බිය සොරකම් කළ ගැට කපන්නාට රුපියල් ලක්ෂයක මුදලක් බන්දේසියේ දමා දුන් කාන්තාවක පිළිබඳව අසන්නට ලැබේ.


ඇය නගරයේ රෙදි පිළි වෙළෙඳසලකට ගියේ අත්‍යවශ්‍ය ඇඟලුම් කිහිපයක් මිලදී ගැනීමටය. කොරෝනා ව්‍යසනය මධ්‍යයේ වුව ද ඒ වන විටත් එම රෙදි පිළි වෙළෙඳසලේ සැලකිය යුතු පිරිසක් රෙදි පිළි මිලදී ගැනීමට පැමිණ සිටියහ. ඒ අතරින් ඇය තමාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් තෝරා ගත්තාය.


තෝරාගත් ඇඳුම්වල මිල ගෙවීමට ඇය එම රෙදි පිළි අලෙවිසලේ මුදල් අයකැමි වෙත ගියාය. සිය ගමන් මල්ල ගෙන එහි තිබූ මුදල් පසුම්බිය සෙවූව ද එහි එය නොවීය. ඇයට දහවල් තරු පෙනුණේ එවිටය. මුදල්වලට අමතරව බැංකු කාඩ්පත ද එහි ඇති බව දැනුණු විට පෙනුණු තරු ගණන දෙගුණ තෙගුණ විය. ඒ විතරක්ම නොව බැංකු කාඩ්පතේ රහස් අංකය ද කාඩ්පත දමා තිබූ කවරය තුළ දමා ඇති බව ඇයට සිහි වූ විට තුන් මුණින්ම දහඩිය දමන්නට විය.


ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ඇය ත්‍රිරෝද රථයක් ගෙන්වා තමාගේ බැංකු කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුවට ගියේ, කාඩ්පතට අදාළ ගිණුමේ මුදල් ගෙවීම තහනම් කිරීමටය. ඒ වන විටත් සිදු වූ දේ සිදු වී හමාරය. ඇයට කලින් ගැට කපන්නා ක්‍රියාත්මක වී බැංකු කාඩ්පත ස්වයංක්‍රීය යන්ත්‍රයකට දමා, ගත හැකි උපරිම මුදල වන රුපියල් ලක්ෂයක මුදලක් ගෙන තිබුණේය.


මේ සිද්ධිය පිළිබඳව ඇය පොලිසියට ද පැමිණිලි කළාය. එය ඇසූ පොලිස් නිලධාරියකු කීවේ, ගැට කපන්නාට තමාගේ මුදල් පසුම්බියට අමතරව මේ කාන්තාව මුදල් ත්‍යාගයක් ද බන්දේසියක දමා දී ඇති බවය.