(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
යතුරුපැදියෙන් යමින් සිටියදී ගැලවී යාමට වෙර දැරූ මුඛ ආවරණය සැකසීමට සිය බිරියගෙන් ඉල්ලූ සහයෝගය නිසා තුවාල පමණක් සිදු වී ජීවිතය අනූනවයෙන් බේරාගත් යුවළක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
මේ යුවළ සිය අවශ්‍යතාවකට යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටියහ. යතුරුපැදිකරු පැලඳ සිටියේ දින කිහිපයක්ම පාවිච්චි කළ මුඛ ආවරණයකි. ඒ නිසාම එහි පටි ඇදී බුරුල් වී තිබිණ.
ඒ නිසාම යතුරුපැදියෙන් ගමන් ගනිද්දී වදින සුළඟත් සමගම ඔහුගේ මුඛ ආවරණය ගැලවී යාමට වෙර දැරුවේ වරක් දෙවරක් නොවේ. එය යතුරුපැදියේ ගමන් ගනිද්දීම සැකසීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය. මුඛ ආවරණය නිරන්තරයෙන්ම ගැලවී යාමට වෙර දැරුවේ එය ඔහුට මහා වදයක් වෙමිනි.
ඒ නිසාම ඔහු මුඛ ආවරණය ගැලවී යාමට නොහැකි වන සේ සකසා ගැනීමට සිතුවේ, යතුරුපැදිය ධාවනය කරමින් සිටියදීය. ඒ සදහා බිරියගේ සහාය ගැනීමට ඔහු සිතුවේය. ඒ, මුඛ ආවරණය දෙකනේ පටලවා ගැනීමටය. ඒ සඳහා ඔහු සිය හිස් ආවරණය බුරුල් කර සිය බිරියට මඳකට එය අතට ගන්නට යයි කියූවේ එහෙයිනි.
සැමියාගේ නියමය පරිදි හිස් ආවරණය අතට ගත් සැණින් ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. එය සම්බන්ධ වූ සැණින් සැමියා මුඛ ආවරණය දෙකනේ පටලවාගෙන හිස් ආවරණය හිසේ දමන ලෙස බිරියට කීවේය.
ඒ අනුව බිරිය හිස් ආවරණය ඔහුගේ හිසේ දැමුවාය. ඒ සමඟම යතුරුපැදිය පෙරැළී ගියේ මහ හඬක් නංවමිනි. ආ ඇමතුමට අවධානය යොමු කළ බිරිය, ඔහුට හිස් ආවරණය පලඳවා ඇත්තේ ඉස්සර පස්ස මාරු කරය. ඒ සන්තෑසියෙන් දෙදෙනාට තුවාල පමණක් සිදු වී බේරී ඇත්තේ, ඒ අවස්ථාවේ වෙනත් වාහනයක් පාරේ නොගිය නිසාලු.