මිනී පිට්ටනිය ළඟින් යද්දී ඇවිදින මල් වඩමක් දැකලා


දකුණු පළාතේ ගමක ජීවත් වූ මොහු වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. එක් දිනක් තමන්ගේ සුපුරුදු රාජකාරි කටයුතු නිමවී නිවෙස බලා එන විට රාත‍්‍රි 11.00 පමණ විය.

රාත‍්‍රි කාලයේ සේවය නිම වී නිවෙස බලා එන විට ඔහුගේ ළඟ විදුලි පන්දමක් නොතිබූ හෙයින් ඉටිපන්දමක පිහිටෙන් ඔහුට නිවෙස බලා යාමට සිදු විය.

මොහුගේ නිවසට යා යුතුව තිබෙන්නේ සුසාන භූමියක් පසු කරගෙන බැවින් මොහුගේ නිවෙස අසළ සතියකට පමණ පෙර මළ ගෙදරක් සිදුවී එයද සුසාන භූමියේ තැන්පත් කර ඇති නිසා හිතේ තිගැස්මෙන්ම අඩියෙන් දෙකෙන් එම ස්ථානයෙන් නිමක්ම යා යුතු යැයි සිතා ගියේය.

මොහුට සුසාන භූමිය පසු කරනවාත් සමඟම සිතා ගන්නවත් බැරි දෙයක් පෙනෙන්නට විය. සුසාන භූමියේ තිබූ මල් වඩමක් එහා මෙහා යමින් තිබිණි.
මොහුට දෙලොව රත්වී පණ එපා කියා ඉටිපන්දම ද විසි කර නැවත තමන් සේවයේ යෙදී සිටි ස්ථානයට දිව ගියේ අඳුරේම වැටි වැටීය.

දහඩිය දමාගෙන තමා සේවය කළ ස්ථානයට ගොස් කාරණය පිළිබඳ ඔවුන්ට වටහා දී නැවත සේවය කළ ස්ථානයේ අය සමඟ පැමිණ බැලූ විට දැක ගැනීමට හැකි වූයේ සිතා ගන්නවත් බැරි දෙයකි. එම ස්ථානයට පැමිණි හරකෙකුගේ අං තට්ටුවේ මල් වඩම පැටලී එය ඉවත්කර ගැනීමට දඟලන හරකා දැක කාරණය තේරුම්ගෙන නැවත ගෙදර ගියේ ඔහු තවත් මහ රෑ වෙනකම් සේවය නොකරන ලෙස සිතාගෙනය.