මිතුරාගේ මුදල් හදිස්සියට චෙක්පතක් එක්ස්ප‍්‍රස් කරලා


ඔහු දෙනියාය ප‍්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන කඩ හිමියෙකි. බැංකු අයිරා පියවීමට මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ගැනීමේ පුරුද්දක් විය.

මිතුරා කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකි. වැඩිපුර තිබූ මුදල් කඩ හිමියාට දුන්නේ ඔහු ඉල්ලන්නටත් කලින්ය.

ටික කලකට පසු මුදල් හදිසියක් ඇති නිසා කඩ හිමියාට කතා කර ”මට සල්ලි  හදිසියක්, දැන්ම අර මුදල් ටික බැංකුවට දාගන්න පුළුවන් දැ”යි දුරකතනයෙන් ඇසීය.

කතා කළ විගසම දීමට කඩ හිමියා අත මුදල් නොවීය. එනිසා මිතුරාගේ ගිණුමට චෙක්පතක් තැන්පත් කළේය.

මිතුරා බැංකුවට ගොස් තවම මුදල් තැන්පත් කර නොමැති බව දැනගෙන දුරකථනයෙන් අමතා ”කෝ තාම සල්ලි වැටිලා නැහැනේ” යි කීය. කඩ හිමියා දුන්නේ අපූරු පිළිතුරකි. ”මම සල්ලි නෙවෙයි චෙක් එකක් දැම්මේ. ඔයාට හදිසි නිසා මම ඒක එක්ස්ප‍්‍රස් කරලා දැම්මා” මිතුරා චෙක්පත් ගැන නොදන්නා නිසා ”ආ ඒක හොඳයි” කියා පැවසුවත් ඔහුට මුදල් ලබාගැනීමට හැකි වූයේ තවත් දිනක් ගත වූ පසුවය. ඊට පසුව නම් කවදාවත් ඔහු කඩහිමි මිතුරාට මුදල් දුන්නේ නම් නැතිලූ.