පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවකුට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමට එහි ගුරුතුමිය පුරුදු පුහුණු කිරීම හේතුවෙන් දරුවාගේ මවුපියන් අන්ද මන්ද වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
කතාව සැකෙවින් මෙසේය.
මෙම මවුපියන් දෙපලගේ දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකි. ඔහු ගුරුතුමිය සහ ඔහුගේ මවුපියන් ඇතුළු වැඩිහිටියන් ඔහුට ලබා දෙන අවවාද අනුශාසනා හිස් මුදුනෙන්ම පිළිගන්නා කීකරු දරුවෙකි.
එදින කුඩා ලොරි රථයකින් මුහුදු මාළු අලෙවි කිරීම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ‘‘මාහල්ලෝ, මාහල්ලෝ, මාහල්ලෝ” යනුවෙන් හඬ නගා වෙළෙන්දෝ මාළු අලෙවි කරමින් සිටියහ.
මෙම අපගේ කීකරු පෙර පාසල් දරුවා පාසල නිමවා නිවසට පැමිණෙමින් සිටියේ ඔහුගේ මව සමගය.
මාළු අලෙවි කරන ලොරි රථය ඔවුන් පසුකර යන අතරතුර, දරුවා තම මවගේ අතේ එල්ලි ඇයට ඇවිටිලි කරන්නට පටන් ගත්තේ මෙලෙසිනි.
‘‘අනේ අම්මේ, අපිත් ගමුකෝ වැඩිහිටියෝ. මම හරි ආසයිනේ,”
මවට ඔහු කියන්නේ කුමක්දැයි වටහා ගැනීම අසීරු විය. දරුවා නාහෙන් අඬමින් ඇයට නිතර නිතර කරදර කරන්නට පටන් ගත්තේ, ”අම්මේ අපිත් වැඩිහිටියෝ ගමුකෝ” කියමිනි.
කෙසේ හෝ මව තම දරුවා නිවසට රැගෙන එන විට දරුවාගේ දෑස් වල කඳුළු වැගිරෙමින් තිබුණි. මෙම දර්ශනය දුටු පියා” ඇයි මගේ පුතා මේ අඬලා තියෙන්නේ, මොකක්ද ප්‍රශ්නේ?” යැයි බිරිඳගෙන් ඇසීය.
එවිට බිරියට කට උස්සන්නවත් නොදුන් කුඩා දරුවා,”තාත්ති මං කියන කිසිම දෙයක් මේ අම්මා ගණන් ගන්නේ නෑ. මට අද කොහොම හරි වැඩිහිටියෝ ඕනමයි” කියමින් බිම පෙරළෙන්නට විය.
මේ අපභ්‍රංසය තේරුම් ගත නොහැකිව පියා හතර අතේ කල්පනා කරන්නට විය.
තමාගේ ඉල්ලීම ඉටු නොවන බව දැනගත් දරුවා පියා ළඟට ගොස් මෙසේ ඇවිටිලි කළේය.
‘‘තාත්ති අපේ ටීචර් කියලා තියෙන්නේ මහලු අයට මහල්ලෝ කියලා කතා කරන්න එපා කියලා. ඒ අයට වැඩිහිටියෝ කියලා කතා කරන්න කියලා. ඉතින් අර ලොරියේ මාමලා මහල්ලෝ මහල්ලෝ කිව්වේ අපි උයලා කන මාළුන්ට කියන තවත් වචනයක් නේද? එයාලත් වැඩිහිටියෝ නේද? අනේ තාත්තේ අපිත් ගමුකෝ වැඩිහිටියෝ කිලෝ එකක්. මම හරි ආසයිනේ” යනුවෙන් පැහැදිලි කළේය.
මේ කතාවෙන් අම්මගෙයි තාත්තගෙයි ඉහ මොළ රත් වී ගියේය. මුවට නැගුණ සිනහව ගිලගත් පියා යතුරුපැදියට නැගී නොපෙනී ගිය මාළු ලොරිය පසු පස ලුහු බඳින්නට විය.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය