මහ රෑ පැමිණි රාක්ෂයෙක් තරුණියගේ විවාහ යෝජනාවට හරස්වෙලා


(තිහගොඩ - උපසේන ලියනගම)
බණ්ඩාරවෙල උප නගරයක් ආශ්‍රිත ගම්මානයක ජීවත්වූ ඇය නගරයේ සංස්කෘතික කටයුතු හා සම්බන්ධ ආයතනයක සේවය කළ අහිංසක මැණිකේ කෙනෙකි.


යොවුන් විය ඉක්මවුවද පෙම් සබඳතා කිසිවක් නොවූ අතර විවාහ කටයුතු පිළිබඳව මව්පියන් සිහිපත් කළත් ඒ පිළිබඳවද ඇයගේ කිසි උනන්දුවක් නොවීය.


එහෙත් පසුගියදා තමාට දුර ඥාතීත්වයක් ඇති යෝජිත මනාලයකු පිළිබඳ මව්පියන් ගෙනා යෝජනාවකට එකඟවූ ඇය මනාලයා ඒමට නියමිත දිනයේ නිවාඩු දැමීය.


එහෙත් නියමිත දිනයේ උදෑසනම ඇය මව්පියන්ට කීවේ නිවාඩු අවලංගු කළ නිසා එදාම සේවයට එන ලෙස දැන්වූ බවය. දැඩි අසීරුතාවට පත් මව්පියන් කෙසේ හෝ මේ ගැන දන්වා යෝජිත මනාලයාගේ ගමන කල් දැමීය.


කාර්යාලයේදී හමුවූ යෙහෙළියක නිවාඩු දමා තිබියදී යළි ආවේ ඇයි දැයි විමසූ විට ඇය අද එක්කෙනෙක් මාව බලන්න එනවා කිව්වා. ඒත් ඊයෙ රෑ මම මහ භයානක හීනයක් දැක්කා. මහා රාක්ෂයෙක් වගේ මිනිහෙක් ගුරුළු රාජයෙක් පිට නැගල ඇවිත් මාව බලෙන් උගේ පිට උඩ තියාගෙන මහා වනාන්තරේ ගල් ගුහාවකට අරංගියා. මට බයටම කෑගැහුණා යැයි කීවේ මේ බය නිසා තවමත් ඇඟ කිලිපොලා යන බව පෙන්වමිනි. උදේ මම බොරුවක් කියල මග ඇරියා. නැවත කීවේ යෙහෙළියගේ මහා හිනා හඬ මැදලු.