මනස සනසන්න ගෙනා මාළු ටැංකියට බිරිය වස දමලා


”මාළු ටැංකියක් දිහා බලාගෙන හිටියාම හිතේ නොසන්සුන්භාවය නැතිකර ගන්න පුළුවන්ලූ” පත්තරයක තිබුණු කතාවකට තව තව අඩුපාඩුත් එක්කම ගෙදරට ආපු කෙනකුගෙන් ලැබුණු උපදේශයකට ඔහු නිවෙසට මාළු ටැංකියක් ගෙනාවේය. එය නිවසේ ආලින්දයේ තැබුයේ  ඕනෑම අයකුට පෙනෙන අයුරිනි. මිල අධික මාළුන්ද පසුදින ගෙනාවේය. ඔවුන්ගේ පැවැත්මට ඔක්සිජන් කට්ටලයක් ද සවිකළේය. දැන් ඉතා අලංකාරය. වැඩ ඇරී නිවෙසට පැමිණි සැණින් ටැංකිය අසලට වී සිටීම ඔහුගේ පුරුද්ද විය. ඒ අනුව සැබවින්ම එය මානසික ඒකාග‍්‍රතාවය ඇතිවෙන දෙයක් බව ඔහු සිතුවේය.

දිනක් වැඩ ඇරී පුරුද්දට මාළු ටැංකිය අසළට පැමිණියේය. එදින ඔහුගේ නෙත ගැටුණු දෙයින් මානසික ඒකාග‍්‍රතාවය බිංදුවට වැටුණේය. මේ..... මොකද මේ..... වෙලා තියෙන්නේ..... ඔහු කෑ ගැසුවේය. සැමියාගේ කෑගැසීමට බිරිය එතැනට දිව ආවාය.

මාළු ටැංකියේ අලංකාර ලෙස උඩට පහළට පිහිනමින් සිටි මාළු සියල්ල මැරී උඩ පාවෙමින් සිටිණු දුටු ඇයද මහත් විමතියට පත්වූවාය. අනේ මේ මොකද මම දවල් කෑම දාද්දිත් හොඳට හිටියානේ? බිරිය එසේ කියද්දි.... සැමියා නැවතත් මෙසේ ඇසුවේය.

මොනවා කෑම..! කොහෙන්ද ඔයා කෑම ගෙනාවේ..... කෑම ඉවර වෙලානේ තිබුණේ....

නෑ නෑ අර රාක්කේ තිබුණේ.... රාක්කේ කොහෙන්ද කෑම....? ඔහු එසේ කියමින් බිරිය විසින් මාළුන්ට දුන් කෑම පරික්ෂා කළේය.
දුටු දෙයින් කේන්තිය ඉහ වහා ගියේය.

ඇය මාළුන් හට කෑමට දමා තිබුණේ මල් පැළ වෙනුවෙන් යෙදීමට ගෙනා කුඩා කැට සහිත පොහොර විශේෂයකි. මානසික ඒකාග‍්‍රතාව රැකගැනීමට නිවෙසට ගෙනා මාළු ටැංකිය නිසා ඇතිවූ මානසික ව්‍යාකූලත්වයෙන් මැරුණු මත්ස්‍යයින් ඉවත් කර හිස් ටැංකිය පිළිකන්න පැත්තේ මුනින් හැරවූයේය.