(හසලක වාර්තාකරු)
උපන්දින සාජ්ජයකදී දඩ මස් ආහාරයට ගත් තරුණයන් සයදෙනකුගෙන් සිව්දෙනකුට සාජ්ජය නිමාවීමෙන් පසු ගමේ වෙද මහතාගේ පිහිට පැතීමට සිදු වූයේ එම දඩ මස් තලගොයි මස් බව දැනීමෙන් පසු ඇති වූ නොනවතින ඔක්කාරය නිසාවෙනි.
හසලකට නුදුරු ගම්මානයක පදිංචි ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවිවාහක තරුණයෙකි. තම 26 වැනි උපන්දිනය යෙදෙන දා ආයතනයේ සේවය කරනු ලබන යහළුවන්ට සාදයක් දීමට ඔහු අදහස් කරගෙන එදින සවස තම නිවසට පැමිණෙන ලෙස පස්දෙනකුට ඇරියුම් කර තිබුණි.
නියමිත දින නියමිත වේලාවට යහළුවන් පස්දෙනා පැමිණි අතර තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ඔවුන්ට ඇරයුම් කළේ සැර යමක් පානය කිරීම සඳහාය. ඒ සඳහා නිවස අසල තිබූ වඩු මඩුවේ කොටසක් සූදානම් කර තිබුණි. සාජ්ජය සඳහා අවශ්‍ය කළමනා සැකැසීම ගමේ හිතවතකුට පවරා තිබූ අතර ඔහු ඒ කාර්යය නිසි අයුරින් ඉටු කර තිබුණු බව දැනුණේ ඒ සඳහා බෝතල් මෙන්ම අනෙකුත් කටගැස්මවලට අමතරව කලෙකින් භුක්ති විඳීමට ලැබෙන දඩ මසක් ද සකස් කර තිබුණු හෙයිනි.
“නියමයි අද හොඳ දඩ මසකුත් තියෙනවා. හොඳට අද බොන්න පුළුවන්” යැයි කියමින් පිරිස මධු සාජ්ජය ආරම්භ කළ අතර යහළුවන් මස් වර්ගය ගැන විමසීමේදී ඔහු පැවැසුවේ මගේ ගෝලයා කොහෙන් හරි මස් ගෙන එන්නට ඇති බවත් මස් මොන මස් ද යන්න තමන් නොදන්නා බවයි. ඒ වනවිට සැපැයුම්කරු වෙන කටයුත්තකට ගොස් තිබුණි.
අයකු මේ මස් ගෝන මස් බවත්, තවත් අයකු මේවා මුව මස් බවත් තර්ක කර ඔවුන් පැය දෙකක් වැනි කෙටි කාලයකදී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගීත ගයමින් රැගෙනවිත් තිබූ බෝතල් දෙක ද කට ගැස්මේ පීරිසි ටික ද හිස් කිරීමට සමත් විය.
පසුව රාත්‍රී ආහාරයට ඇරයුම් ලැබුණෙන් එය ද භුක්ති විඳි පිරිස විසිර යෑමට ආසන්නයේ මස් සැපැයූ හිතවතා එම ස්ථානයට පැමිණියේය. මස් කරිය ඉතා හොඳට රසට සකසා තිබීම පිළිබඳව ඔහුට මුව නොසෑහෙන ලෙස ස්තුති කර “මොනවා ද මේ මස්” යැයි කණ්ඩායම ඔහුගෙන් විමසනු ලැබීය. “ආ ඔව්වා තලගොයි මස්නේ. අර එහා ගමේ සිරිසේනට කියලා මම ගෙන්වා ගත්තේ. ඕනෑ නම් ඌට කියලා හෙට මස් ටිකක් ගෙන්වලා දෙන්නම්” කීවා පමණි. අයෙක් “ඕක්” ගෑවේය. ගත වූයේ තත්පර කිහිපයකි. ඒ සමගම තරුණයන් සිව්දෙනකුටම එම ඔක්කාර රෝගය වැළඳුණි.
ඔවුන් හතරදෙනා පැයක පමණ කාලයක් ඔක්කාරය කළ අතර පසුව නිවෙස් හිමියා ඔවුන්ගේ ඔක්කාරය නොනවතින නිසා රාත්‍රී 11ට පමණ එම සිව්දෙනා රැගෙන අසල ගමේ වෙද මහතා ළඟට ගොස් ප්‍රතිකාර කිරීමෙන් පසු ඔක්කාර නිමා වුවත් ඔවුන් සිව්දෙනාට දින දෙකක් පමණ රාජකාරියට වාර්තා කිරීමට ද නොහැකි විය.