මධ්‍යම පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක උපන් ඔහු අගනුවර රැකියාවට ආවත් හෙළ සිරිත් අත ඇරියේ නැත. අගනුවරින්ම අනාගත සහකාරිය තෝරාගත් ඔහු පසුගියදා විවාහ වීමට සූදානම් වූවත් එක් ගැටලූවක් වූයේ මඟුල් උත්සවයේදී ජාතික ඇඳුම ඇඳීමට මනාලිය එරෙහි වීමයි.
යුරෝපීය ඇඳුම් කට්ටලයක් අඳින ලෙස මනාලිය ඔහුට කීවත් ඔහු තම අදහස වෙනස් කළේ නැත. අවසානයේ ඇය කීවේ ‘‘කමක් නෑ... ඔයාගේ කැමැත්තනේ. හැබැයි, ඒකට ගැළපෙන්න මම රෙද්දයි හැට්ටයයි අඳිනවා’’ කියාය.
මඳ තැති ගැන්මට පත් මනාලයා ඇයට සාරිය අඳින්නට කීවත් ඇය එකඟ නොවීම නිසා මහත් ගැටලූවක් මතුවිය. පසුව දෙපාර්ශ්වයේම වැඩිහිටියන් එක් වී මනාලයාට මගුල් දා යුරෝපීය ඇඳුමත්, දෙවැනිදා ජාතික ඇඳුමත් ඇඳීමට උපදෙස් දීම නිසා කැඩෙන්නට ගිය මඟුල අනූනමයෙන් යළිත් හරිගියාලූ.

