මඟුල් සාදයේදී සූර්වී බෝතලයක් ඉණේ ගසාගෙන යද්දී මාට්ටු


වියලූවේ ගම්බද ප‍්‍රදේශය මඟුල් ගෙයකි. තම බිරිය හා වැඩිමහල් දියණියද සමග ජැණ්ඩියට හැඳ පැළඳගත් ඔහු එහි පැමිණියේ  නිවැසියන් කල් තබාම කළ ආරාධනයට අනුවය. දියණියත් බිරියත් හිතවතුන් අතර හිදින්නට සැලැස් වූ ඔහු කෙළින්ම පියමැන්නේ උත්සවයේ මත්පැන් සාදය තිබෙන ඉසව්වටය. ඒ මඟුල් ගෙදර තරුණයකු කළ ආරාධනයකට අනුවය.
 යහමින් මත්පැන් සපයා තිබූ සාදයට එක්වූ ඔහු ඇති පදම් සප්පායම් වූයේ තම සීමාව පවා අමතක කර ගනිමිනි.
 හිටි හැටියේම වටපිට බැලූ හෙතෙම හොඳවැයින් අරක්කු බෝතලයක් ඉණේ ගසා ගත්තේ ඔය අතරතුරය. බොහෝ දෙනෙකුට එය දැක ගන්නට නොලැබුණත් අසල මේසයක සිටි තරුණයකුගේ උකුසු ඇසට මඟහැර යන්නට නොහැකි විණි.
සිද්ධිය දුටු තරුණයා සිදුවන්නේ කුමක්දැයි ඇස ගසා සිට නිවසේ තරුණයකුට ද සිද්ධිය සැල කළේ පුංචි උපායක් ද ඊට එක් කරමිනි.
සාදය උණුසුම් වෙමින් තිබිණි. අරක්කු බෝතලය ඉණේ ගසා ගත් තැනැත්තා එතැනින් පිටවී මහ මඟ දෙසට යන්නට වූයේ ඔය අතරේය.
මඟුල් ගෙදරින් කටගැස්මට බැඳුමක් ද සපයා ගත් තරුණයෝ පිරිසක් ද ඔහුගේ පිටු පසින් වැටිණි. ”මාමේ ඔය  බෝතලේ විතරක් මදි. මේ බයිට් එකක් අරන් යන්න” යැයි තරුණ පිරිස ඔහු වෙත කට ගැස්ම බඳුත දිගු  කරමින් සමච්චල්  සිනහවක් පෑවේ කාටත් ඇසෙන්නටය. ඔය අතරේ තවත් වැඩිහිටියෙක් සරමෙන්ද ඇද්දේය.
 ගතවූයේ නිමේෂයකි. අරක්කු බෝතලය ගත්  වැඩිහිටියා මහමඟ යන  තුන්රෝද රථයක  එල්ලූනේ තමන් සමග ආ බිරියත්,  දියණියත් මඟුල් ගෙදරත් අමතක කර දමමිනි.