මඟුලට වින කටින්න ගැසූ තුරුම්පුව කණපිට පෙරළේ


යෝජිත විවාහයක් කඩාකප්පල් කිරීමට බොරු කේළාම් කී අයකු මනමාලයාගේ පියාගේ උත්තරයෙන් නිරුත්තර වීමේ සිද්ධියක් දකුණු පළාතේ ගමකින් වාර්තාවිය.

සිද්ධිය වාර්තා වූයේ මෙසේය. මගුල් කපුවකුගේ මාර්ගයෙන් තරමක් ඈත ප‍්‍රදේශයකින් තරුණයකුට තරුණියක යෝජනා විය.

මනාලයාගේ පාර්ශ්වය බලාපොරොත්තු වූ පරිදි සුදුසු තරුණියක් ඔහුට යෝජනා වී තිබේ. මනමාල මහතාගේ පියා ද විශ්වාස කටයුතු මාර්ගවලින් සොයා බැලූ කල ඇය ඉතා චරිතවත් ගුණයහපත් යෞවනියක බව දැනගන්නට ලැබිණි.

විවාහය පිළිබඳ සියලූ තීරණ ගන්නා අවස්ථාවේ මනමාල මහතාගේ නිවසට නාඳුනන පුද්ගලයෙක් පැමිණියේය. තමා මනමාලියගේ ගම් ප‍්‍රදේශයේ බවත් ඒ අය හොඳින් හඳුනන බවත් පවසා ‘‘ඔය විවාහය කරන්න එපා’’ යැයි කීය.

මනමාල මහතාගේ පියා ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ‘ඔය ගැහැනු ළමයට බබෙක් හම්බවෙන්න ඉඳල නැති කළා’’ යැයි කීය.

එවිට පියා ‘‘එක බබෙක් ද නැති කළේ’’ කියා විමසීය. එම ප‍්‍රශ්නයෙන් උද්දාමයට පත් වූ නාඳුනන පුද්ගලයා ‘‘ඔව් ඔව්’’ යැයි කීය.

එවිට මනමාලයාගේ පියා එහෙනම් කමක් නෑ. මගේ පුතාටත්  ඕන ඔය වගේ කෙනෙක්. පුතා ගේන්නෙ වඳ නැති කෙල්ලෙක්. ඒක කලින්ම දැනගන්න ලැබුණ එක ලොකු දෙයක්. ඔහේ කළේ ලොකු උදව්වක් යැයි කීය. නාඳුනන පුද්ගලයා මනමාල මහතාගේ නිවසින් පිළියෙළ වූ තේ එක ද නොබී ඉක්මනින්ම එම නිවසින් නික්ම ගියේය.

මේ වන විට ඔවුන්ගේ විවාහ මංගල්‍යය ද සාර්ථකව සිදු වී හමාරය.