බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක්


කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සෙල්ලම් කරමින් තිබූ පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියාට අපූරු දඬුවමක් දුන් කොල්ලන් පිරිසක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
පාසල් පිටියකි. වැඩිමනත්ම එහි සෙල්ලම්  කළේ ක්‍රිකට්ය. කොල්ලන් මේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්න වෙලාවක් කලාවක් නොවීය. මේ පිටිය වැඩිමනත් ප්‍රසිද්ධ ලෙදර් බෝල සෙල්ලම් කරන පිටියක් ලෙසය.
සීමා ඉර බිමින් සහ උඩින් පසු කර යන ලෙස ලෙදර් බෝලයට පහර දෙන කොල්ලෝ ද සිටියහ. සීමා ඉරටත් උඩින් ක්‍රීඩාංගණය වටා ගසා ඇති දැලටත් ඉහළින් පන්දුවට පහර දෙන කොල්ලන්ද මේ අතරය. ඒ හයිය හත්තිය තියෙනවුන්ය.


මේ හයිය හත්තිය තියෙන කොල්ලන් එල්ල කරන පන්දු පහරවල් යාබද නිවවෙස්වල  වහලයට, දොර, ජනෙල්වලට, මිදුලට වැටෙන අවස්ථා නැත්තේද නොවේ. එවන් අවස්ථාවලදී එම නිවෙස්වල වහලය, දොර ජනෙල්වලට පන්දුව වැදී පළුදූවු අවස්ථා සුලබය.
මේ නිසා මේ ක්‍රිකට් ගැහිල්ලට අසල්වාසීහූ බරබරය දැම්මෝය. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ද පැමිණිලි කළහ. ඒත් ඔවුහු  නොඇසූ කන්ව සිටියෝය. මේ සම්බන්ධයෙන් අසල්වාසින් සිටියේ අදාළ බලධාරීන් සමග කේන්තියෙනි.
 කාලය කෙමින් ගෙවෙමින් තිබිණ. හයියහත්තිය තියන කොල්ලකු ගැසූ පන්දු පහරක් අසල්වාසී නිවසකට ආයෙත්  කඩා වැදුණේ ඊයේ පෙරේදාය. එසේ කඩා වැදුණ පන්දුව අසල්වැසියා අත්අඩංගුවට ගත්තේය. කොල්ලන් ඉල්ලු‍වත් දුන්නේම නැත. කොල්ලන්ට කේන්තිය. පන්දුව නොලැබූ ඔවුහු ආපසු ආහ.
පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියා සිය නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියට නැග්ගේ අවශ්‍යතාවකටය. අසල්වැසියාට දෙලෝ රත්විය. තමා නවතා ගිය යතුරු පැදියේ තිබූ  යතුර යතුරු කටේ නැත අසල්වැසියාට වැඩේ තේරුම් ගියේය. තමා අත්අඩංගුවට ගත් පන්දුව කොල්ලන්ට දී කොල්ලන් අරගෙන ගිය යතුරු පැදියේ යතුර හුවමාරුකර ගත්තේ ඉන් අනතුරුවය.