මරදානේ නේවාසිකාගාරයක සිටින විවිධ ආයතනවල තරුණයන් සිවුදෙනෙකි. එක් අයකු බෝඩිමේ හිමිකාරියට කිසිදා හොඳක් කීවේ නැත. බලපන් අපි ඉන්න කාමරවල හැටි. කුකුළු කූඩු වගේ. කිසිම පහසුකමක් නැහැ. ඒ වුණාට එක් කෙනකුගෙන් දෙදහස් පන්සීය ගානේ ගන්නවා. ආයෙත් වැඩි කළොත් නම් මම යනවා. ඔහු කීය.
අනෙක් තිදෙනා කිසිවක් නොකීවේ කොළඹින් බෝඩිමක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු බැවිනි. බෝඩිමේ හිමිකාරිය ඊළඟ මාසයේ සිට කුලිය රුපියල් තුන් දහසක් බව පවසමින් රතු එළියක් දැල්වූවාය. පෙරකී මිතුරා අනෙක් මිතුරනට මෙසේ කීය. ”මම බෝඩිමෙන් යනවා. හවස ඔයාලා බොරැල්ලට එන්න. අද මගේ ගානේ චයිනීස් රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගමු.” සවස හයට මිතුරන් තිදෙනා බොරැල්ල මංසන්ධියට පැමිණියේ තිළිණයක් ද රැගෙනය. රාත‍්‍රී හත විය. මිතුරා පැමිණියේ නැත. ඔහුගේ ගමන් කථනයෙන් ද ප‍්‍රතිචාරයක් නොවීය. ”අට වෙනකන් බලමු” අයෙක් පැවසුවේ ඈනුමක් ද අරිමිනි. අටයි තිහ වනතුරු බලා සිටි ඔවුහු තෝසේ කඩයකින් රාත‍්‍රි ආහාරය ගෙන නේවාසිකා ගාරයට පැමිණියහ. කාමරයේ වැලේ තිබූ රෙදි රඳවන ක්ලිප් ද හැන්ගර්ස් ද බෝඩිම අයිති කාන්තාව තාවකාලිකව ඔවුනට ලබා දුන් බෝල කූඩු දෙකද, යනවා යැයි පැවසූ මිතුරාගේ ඇඳුම් බෑගය ද අතුරුදන්වී තිබිණි. වහා තරුණයෝ බෝඩිමේ හිමිකාරිය මුණ ගැසුණහ.
එවිට ඇය,
”ඔයාලා හරි ළමයි තමයි. බලන්නකෝ ”මුනේ” ළමයා යන්න ගියානේ. එයා කීවා බෝඩිම හොඳයි ඒ වුණාට එයා යන්නේ අනෙක් අය හින්දා කියලා. මෙතන සිගරට් බොනවලූ, අරක්කු බොනවලූ. ඒ විතරක්ද ඔයාලා මට හැමවේලේම බනිනවා කියලත් කීවා. පව් අහිංසක ළමයා” ඇය සුසුම්ලමින් පැවසුවාය. මිතුරන් තිදෙනාගේ මුව ගොළු වූයේ ඔවුන් කිසිමදාක ඇයට දොස් තබා නොමැති හෙයිනි. නිහඬව කාමරය තුළට පැමිණි ඔවුන්ගෙන් එක් අයෙක් ”අවංක මොළේ සදා ඇළේ” යැයි පැවසීය.

