බොන්න සල්ලි නැතිව රන්බඩු කඬේ පන්සීයකට විදලා


ඔහු නිතර මත්පැන් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකි. දිනකට තුන් හතර වතාවක් හෝ ගමේ තිත්පොළට ගොස් අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.
අතේ මුදල් නැතිවිට කුමන හෝ උපායකින් මුදල් සොයා ගැනීමටද හෙතෙම රුසියෙකි.
පසුගිය දිනෙක ඔහුට අඩියක් ගහන්නට වුවමනාවුවත් අතේ ශත පහක් නොවිණි. ඊට ඔහු යෙදවුයේ අපූරු උපායකි.
හොඳින් ඇඳ පැළඳගත් ඔහු කෙළින්ම ගියේ ගමේ රත්තරන් බඩු සාප්පුවටය. හොඳින් දැන හඳුනන්නෙකු වූ එහි හිමිකරු ඇමතූ හෙතෙම මල්ලි මට පෙන්නන්නකො පොඩි කරාබු කුට්ටමක් යැයි කීවේ එය ඉක්මනින්ම මිලදී ගන්නා බවක්ද අඟවමිනි. වෙළෙඳසල් හිමියාගේ ද උදව්වෙන් ඔහු රුපියල් 4000ක් වටිනා කරාබු කුට්ටමක් තෝරා ගත්තේ එය තම සහෝදරයාගේ දියණියගේ ඉඳුල් කට ගෑමේ මංගල්‍යයට බව කියමිනි.
කරාබු කුට්ටම යළිත් වෙළෙන්ඳා අත තැබූ හෙතෙම වෙළෙඳසල් හිමියාට ගෙනාවේ අපූරු යෝජනාවක්. ”මල්ලි ඔය කරාබු කුට්ටමට බිල දානකොට 500ක් වැඩිපුර දාල මට බිල දෙන්න” වෙළෙඳ සල් හිමියාද යෝජනාවට අවනත වුණේ ඔහු දන්නා හඳුනන අයකු වූ නිසාය.
හරි මල්ලි දැන් පස්සෙ වැඩිපුර දාපු 500 මට දෙන්න. මං ගිහින් මේ බිලයි 4500යි එවන්නම්. එතකොට කරාබු දෙක දෙන්න” එසේ කියූ හෙතෙම රුපියල් 500ත් බිලත් අතට ගත් ඔහු කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් එතනින් පිටවූයේ රත්තරන් බඩු සාප්පු හිමියාගේ ගුණ වර්ණනාවක් ද කරමිනි.
බිල රැගෙන ගොස් දැන් සති ගණනකි. තවමත් කරාබු කුට්ටම රැගෙන යන්නට වත් වැඩිපුර ගත් 500 දෙන්නටවත් ඔහු නගරයට ආවේ නැතිලූ.