බීමතින් පොළඟකු අල්ලද්දී දෂ්ට කරලා


යහළුවන් කීපදෙනකු සමග කසිප්පු බී වෙරි මරගාතේ යනවිට අතරමගදී හමුවූ පොළඟකු පුරුක් ඇද පෙන්වන බව පවසා අතින් අල්ලා ගත් ද්‍රවිඩ පුද්ගලයකු එම පොළඟා විසින් දෂ්ට කොට මිය ගිය පුවතක් දෙහි ඕවිට සපුමල්කන්ද වත්තෙන් අසන්නට ලැබුණි.

සිද්ධිය සැකවින් මෙසේය. එම වත්තේ කිරි කැපීම දළු කැඞීම මෙන්ම අනෙකුත් කුලී වැඩ කරමින් සිටින බහුතරයක් පිරිස ද්‍රවිඩ ජාතිකයෝය. මෙම පිරිස වැඩිදෙනා දිනපතා හවසට කෙසේ හෝ ළඳු කැලෑ අඩි පාරවල් පැන ගොස් හොර සුරා පොළකින් හොඳ හැටි පදම්වීමට පුරුදු වී සිටිති.

එදිනද ඉහත කී පුද්ගලයා වැඩ අවසන් වී යහළුවන් කීපදෙනකු සමග හොර සුරා පොළකින් පදමට දෙකක් දමාගෙන ආපසු නිවෙස බලා එන්නට පිටත් විය. බිම් කළුවරද වැටී තිබුණු එම අවස්ථාවේ පාරේ ලඳු කැලෑවකින් හිටි හැටියේ මතුවූ දැවැන්ත පොළඟකු පාර හරහා යන්නට විය.

සුරා මතින් සිටි එම පුද්ගලයා යහළුවන්ගේ කීම නොතකා එකවර පැන පුරුක් ඇද පෙන්වන බව පවසා දැවැන්ත පොළඟා අල්ලාගෙන ඉහළට ඔසවා ඇත. මරු විකලෙන් සිටි පොළඟා එකවරම එම පුද්ගලයාගේ මුහුණ සපා කා ඇත.

යහළුවන් පිරිස විසින් එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරු ඔහු එවලේම ගිලන් රථයකින් අවිස්සාවේල්ල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යවා ඇත. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලැබූ ඔහු දින කීපයකට පසු මිය ගියේය.