බිංකුණ්ඩෙක් රෙදි ගිනි තියන්න ගියැයි කතකගෙන් පැමිණිලි


දකුණු පළාතේ උපපොලිස් ස්ථානයකි. තම දරුවා ද ඇදගෙන වේගයෙන් පැමිණි කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට දිවගෙන එන ආකාරය දුටු පොලිස් කාන්තාවක් කීවේ පැමිණිල්ලක් ඇත්නම් පැමිණිලි අංශයට යන ලෙසටය.

එහි ගිය ඇය පොලිස් නිලධාරියාට කීවේ ”අනේ රාලහාමි බිංකුංඩා, දරුවගෙ පොත් ටික විසිකරලා මගේ රෙදිටික ගිනිතියන්න හදල ගෙයින් පැනල ගියා” කියාය. නිලධාරියා ”බිංකුංඩා ඔය නටන පුංචි සතා නේ දැයි” ඇසුවේ මවිතයෙනි. ”ඔව් ඌට නටන්නත් පුළුවන්. අද මහ අඩව්වක් ඇල්ලූවා” කීවෙන් පොලිස් නිලධාරියාට තරු පෙනිණ.

ඔහු ”බිංකුංඩා පුංචි සතෙක්නෙ” කීවිට ඇය කීවේ ”ඔය මගේ කසාද මිනිහා. ගමේ අය කියන්නේ බිංකුංඩා කියල” යනුවෙනි. එය ඇසූ පොලිස් නිලධාරියා ”එහෙමද මං හිතුවෙ අර තෝත් නටාපිය මාත් නටන්නං කියපු සතා කියල” කියමින් කාන්තාවගේ පැමිණිල්ල ලිවීමට පටන් ගත්තේ වටපිටාවේ සිටි අයගේ සිනාහඬ මැද ලූ.