(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
බස්රථයක් තුළ විසිරී ගිය නොකැඩෙන බිත්තර ගොඩක් නිසා කාලයක් තිස්සේ කර ගෙනගිය බිත්තර හොරකම හෙළිවීමේ පුවතක් කන්දඋඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා කුඩා නගරයක පවත්වාගෙන යන මධ්‍යම ප්‍රමාණයේ හෝටලයක සේවය කරන මොහු දිනපතාම නිවස වෙත ගමන් කරන්නේ ගමට ඇති එකම බස් රථයෙනි.
මේ දිනවල හෝටල්වලට වැඩි වෙළෙඳාමක් නොමැති නිසා ආහාර පාන සැකසීම ද ඉතා අඩුවෙන් සිදුකිරීමට පාලක පක්ෂයෙන් උපදෙස් ලැබී තිබිණ.
එසේ වුවද හෝටලයට ගෙන එන බිත්තර පමණක් සීමාව ඉක්මවා ඉවර වන බව එහි පාලක පක්ෂයට වැටහී තිබුණ නමුත් ඔවුහු ඒ ගැන ඒ තරම් නොසිතූහ.
මෙසේ දවස් ගතවෙද්දී පසුගිය දිනක මෙම හෝටලයේ මුළුතැන් ගෙයි සේවය කරන මෙම පුද්ගලයා තමන් ගමට යන බස් රථයට ගොඩ වී පසුපස අසුනක වාඩි වූයේ කුඩා බෑගයක් ද රැගෙනයි.
මෙසේ ටික දුරක් යද්දී ඉදිරියෙන් පැමිණි වෙනත් වාහනයක් නිසා බස් රථයේ රියැදුරුට එක්වරම තිරිංග පාගන්නට සිදුවිය. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා සතුව තිබූ කුඩා බෑගය විසිවී ගොස් බස්රථය තුළ වැටුණු අතර එතුළ තිබී බිත්තර තොගයක් බස්රථය පුරා රෝල් වී ගියේය. එසේ බිත්තර රෝල් වී ගියද එක බිත්තරයක් හෝ නොබිඳීම ගැන සැක සිතු බස් රථයේ සිටි කෙනකු එක් බිත්තරයක් පරීක්ෂා කරද්දී කාලයක් තිස්සේ සිදුකළ සියල්ල අතටම හසුවිය. ඒ බිත්තර තැම්බූ බිත්තර වූ අතර ඔහු ගමේ පිරිසකට බයිට් ජාවාරමක් කරගෙන ගොස් ඇති බව පසුව හෙළි විය.
එහෙත් ඔහුට තවදුරටත් එය කරගත හැකි වූයේ නැත. ඒ ඔහුට රැකියාව ද අහිමි වී ගිය බැවිණි.