බස් ටිකට්පතේ දුරකතන අංකය ලියාදී 500 ක් පාඩු කරගෙන


බස් රථයේදී මිතුරු වූ කාන්තාවකට සිය බස් ටිකට්පතේ දුරකථන අංකය ලියා දී රුපියල් 500ක් අහිමි කර ගැනීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි.
මහනුවරට නුදුරු එක්තරා කුඩා නගරයක් ආසන්නයේ සිදු වූ මෙම සිද්ධිය සැකෙවින් මෙසේය.

ඔහු සාමාන්‍ය රැකියාවක් කරන මැදි වියේ පුද්ගලයෙකි. දිනපතා සේවය අවසන් කර මෙම බසයෙන් ගමන් කිරීම ඔහුගේ සිරිතයි. එම බසයෙන්ම දිනපතා සේවය අවසන් කර ගමන් කරන තරුණ කාන්තාවක කෙරෙහි මොහු සිය අවධානය දින කිහිපයක්ම යොමු කළේය. එහෙත් ඔහුට ඇය සමඟ දොඩමළුවීමට අවස්ථාවක් නොලැබිණි.

එසේ සිටියදී එක් දිනක් ඔහුට ඒ අවස්ථාව උදා විය. එදා ඇය ඔහුගේ අසුනට යාබද අසුනේ අසුන් ගත්තාය. ඔහුගේ සතුට නිම්හිම් නැති විය. ටික දුරක් යද්දී ඔහු ඇය සමඟ කතා කරන්නට පටන් ගත්තේය. මුලදී කරදරයක් සේ සැලකූ නමුත් ඇයද ටික දුරක් යද්දී ඔහු සමඟ කතා කරන්නට පටන් ගත්තාය. ඔවුන්ට කතා කරන්නට හැකි වූයේ ටික වේලාවකි. ඇය බසින ස්ථානය ලංවිය. ඒ බව ඇය ඔහුට කීවාය. දෙවරක් නොසිතූ ඔහු වහාම අතේ තිබූ ටිකට්පතේ ඔහුගේ දුරකථන අංකය ලියා ඇයට දුන්නේය. එයත් ලබාගෙන ඇය බැස ගියාය.

බසය වේගයෙන් ගමන් කර ඔහු ද බසින තැන ළංවත්ම කොන්දොස්තර මහතාට තමන් රුපියල් පන්සීයක් දුන් බවත් බසින විට ඉතිරි මුදල් ඉල්ලා ගන්නා ලෙසත් පවසා ටිකට් පතේ ඒ බව සඳහන් කර දුන් බව ඔහුට සිහි විය. දැන් බස් ටිකට්පත ඇය අරන් ගිහින්ය. ටිකට්පත නැතිව ඔහුට ඉතිරි මුදල් ඉල්ලිය නොහැකිය. ඒ නිසාම ඔහු ඒ රුපියල් පන්සීයේ අලාභය දරා ගෙන බසයෙන් බැස ගියේය.