බලාගන්න දුන් මෝටර් රිය අයිතිකරුම හොරෙන් අරන් ගිහින්


අලූත්ම මෝටර් රථයක් රාති‍්‍ර නවයට පමණ මාර්ගයේ වේගයෙන් පැමිණ ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. කඩවසම් තරුණයෙක් සමග තරුණියක් රථයෙන් බැස පිටුපස රෝදය පරීක්ෂා කරන්නට වූහ. අසල ආයතනයේ සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරින්ව දුටු තරුණයා ඔවුන් අමතා, ”පැච් එකක්. රෝදේ ගලවලා හදාගෙන එනකන් පොඞ්ඩක් බලා ගන්න පුළුවන්ද? ඒකට මම ඔයාලට ගෙවන්නම්” යැයි කීය.

”හරි සර් අපි බලාගන්නම්” යි පැවැසූ ආරක්ෂක නිලධාරියෙක් රෝදය ගැලවීමට උදව් වුවාට පසු තරුණයා සහ තරුණිය බජට් ටැක්සියකින් පිටත් වූහ. ආරක්ෂක නිලධාරින් තිදෙනාගෙන් දෙදෙනෙක් රාජකාරියේ යෙදී සිටි අතර රාජකාරියේ නොයෙදුනු අනෙකා, ”ෂුවර් එකටම හොඳට බර තියෙන පොරක් දැක්කද දාගෙන හිටපු රත්තරං මාලේ. කඹයක් වගේ. අඩුම ගානේ අපිට රුපියල් දාහක්වත් දෙයි” යැයි පැවැසීය. පැයක් ගතවිය.

මේ අතර රාති‍්‍ර සංචාරක නිලධාරියා පැමිණෙනු දුටු දෙදෙනා වහා තම රාජකාරි ස්ථානවලට ගියහ. තොරතුරු ලේඛනයේ සටහන් යෙදු ඔහු අඩ හෝරාවකින් පිටව ගිය විට ආප්ප රැගෙන පැමිණි මිතුරකු, ”සර් කීයක් දුන්නා දැ”යි විමසීය. ”මොන සර්ද?” අයෙක් ඇසූවිට, ”ඇයි බං කාර් එකේ බොසා කීයක් දීලා ගියාදැයි නැවතත් විමසීය. මෑන් ආවේ නැහැ. මිතුරෝ කීහ. ”එහෙනම් කෝ කාරෙක?” යැයි විමසූ විට අනෙක් දෙදෙනාට තරු පෙනුණි. පාරේ තිබූ මෝටර් රථය පිටවගොස් තිබිණි.