ඔහු නගරයට ගියේය. යතුරු පැදිය නැතිවිය. පැමිණිල්ලක් කරන්නට පොලිසියට ගියේය.
ඔහු නිතරම සෑම ගමනක් බිමනක්ම යතුරු පැදියෙන් යන්නෙකි. ඔහු පසුගිය සති අන්තයේ නගරයට ගියේ බසයෙනි.
නගරයේ සිය අවශ්‍යතා ඉටුකරගත් ඔහු තමන් පුරුදු පරිදි යතුරු පැදිය නවතන ස්ථානයට ආයේය. යතුරුපැදිය එහි නැත. සාක්කුවට අත දමා බැලූවත් යතුරද නැත. ඔහුගේ හිස ගිනි ගත්තේය. අලූත් යතුරුපැදිය මිලට ගෙන මාස දෙක තුනකි.
ඔහු දැඩි කල්පනාවෙන් සිටියදී මිතුරෙක් හමුවිය. මිතුරාට සිද්ධිය කීවේය. පොලිසියට පැමිණිල්ලක් කරන්නැයි මිතුරා උපදෙස් දුන්නේය. ඔහු පොලීසියට පියමං කළේය. දන්නා හඳුනන පොලිස් නිලධාරියකුට සිද්ධිය කීවේය.
මෝටර් සයිකලේ වර්ගය හා අංකය පොලිස් නිලධාරියා විමසීය. එහි වර්ගය කිව්වත් අංකය කියන්නට ඔහුට මතක තිබුණේ නැත. ඔහු කළේ නිවෙසට දුර ඇමතුමක් ගැනීමය. අනේ බයිසිකලේ නොම්මරය කියන්නකෝ. ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේය. ඒ මොකටදැයි බිරිය විමසුවාය. යතුරුපැදිය නැතිවූ පුවත ඔහු බිරියට කීවේය.
අනේ, අනේ... බයිසිකලේ මේ ගෙදර තියෙන්නේ. ඔයා අද බස් එකේනේ ටවුන් ගියේ. ඇය එහුට කියද්දී සියල්ල යළි සිහිපත් කළ හෙතෙම පොලිස් නිලධාරියාට ”වැරදීමක් වුණා.” කියා නිවෙස බලා පියනැගීය. ඔහු සියනෑවේ වැසියෙකි.

