පෝස්ටර් අලවන්න දුන්නු පිටිවලින් රොටී පුච්චන්කාලා


ඌව පළාතේ එක්තරා ඡුන්ද අපේක්‍ෂකයකු සිය මැතිවරණ පෝස්ටර් ඇලවීමට අවශ්‍ය පාප්ප සාදා ගැනීම සඳහා දුන් පිටි මුලකින් රොටී පුළුස්සාගෙන කෑ බව කියන ආධාරකරුවන් පිරිසක් පිළිබඳ ලංකාදීපයට වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ඔහු මෙවර පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී එක්තරා දේශපාලන පක්‍ෂයකින් තරග වදින අපේක්‍ෂයෙකි. ඔහු ඉතා අමාරුවෙන් මුද්‍රණය කරගත් පෝස්ටර් මිටිය තම ආධාරයට පැමිණි කීපදෙනකු අත තැබුවේ ඒ සියල්ල ගස් ගල් මත මෙන්ම තාප්පවලද අලවන ලෙස උපදෙස් දෙමිනි.

අවශ්‍ය පාප්ප හදාගන්නට පිටිමුලක් ද ඇඟ රත්කර ගන්නට බෝතලයක් ද ලැබිණි.

පිරිස පෝස්ටර් ඇලවීම ආරම්භ කරන්නට පෙර බෝතලය හිස් කළේ ඉතිරි කාර්යය සඳහා හොඳ ගැම්මක් අවශ්‍ය බව එකිනෙකාට පවසමිනි.
බෝතලයෙන් ඇරඹි සාදය දෙක තුන වූයේ ඊට තවත් කීප දෙනකුත් හවුල් වූ බැවිනි.

අවසානයේ එක් අයකුගෙන් ආවේ අපූරු යෝජනාවකි.

අපි මේ පිටිවලින් රොටි හදමු. යෝජනාවට විරෝධයක් නොවූ තැන පාප්ප හැදිල්ල පසෙක තැබූ පිරිස ඉන් රොටි හදාගෙන කන්නට වූයේ  ඕකා දේශපාලනය කරන්නෙත් බං කන්න හොයා ගන්න මිසක් රට දියුණු කරන්න නොවෙයි නේ යැයි එකිනෙකාට කියා ගනිමිනි.