තම පුතාගේ ජංගම දුරකථනය සොරකම් කර ලේලියගේ මවට විකුණා තිබූ සැකකරු සහ එම ජංගම දුරකථනය මිලදී ගත් බව කියන පුතාගේ බිරිඳගේ මවද (ලේලියගේ මව) කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කටුගස්තොට ප‍්‍රදේශයේ නිවසක තිබූ රුපියල් 3,11,00ක් පමණ වටිනා රන් භාණ්ඩ මුදල් හා ජංගම දුරකථනයක් සොරකම් කර ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පරීක්ෂා කළ පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සොරකම් කළ බව කියන ජංගම දුරකථනයේ සිම්කාඞ්පත උපයෝගි කරගෙන කරන ලද තාක්ෂණික පරීක්ෂණයක් අනුව එම දුරකථනය පැමිණිලිකරුගේ බිරිඳගේ මව ළඟ තිබී පොලිසියට හමුවී තිබේ.
ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ කිරිමේදී එම දුරකථනය පැමිණිලිකරුගේ පියා විසින් බිරිඳගේ මවට රුපියල් 1000කට විකුණා තිබූ බව අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් ජංගම දුරකථනයක් සොරකම් කිරීම හා ළඟ තබා ගැනීමේ චෝදනා මත පැමිණිලිකරුගේ පියා හා බිරිඳගේ මව අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැමිණිල්ලේ එකඟත්වය මත අනෙකුත් භාණ්ඩ පිළිබඳව තීරණයක් ගන්නා බවත් පොලිසිය කියයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දේශපි‍්‍රය ජයතිලක මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ, සැරයන් ජයරත්න යන මහත්වරු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.

