පියා නොවිකුණූ ගවයා පුතා 30,000 කට දීලා


මස් කඩ හිමියකු රුපියල් හැට දහසකට ඉල්ලූ ගවයා  විකිණීම පියා ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් පසු පුතා එම ගවයා රුපියල් තිස්දහසකට විකිණීමේ සිද්ධියක් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ  ගම්මානයකින් වාර්තාවේ.

 පියා ගම්මානයේ සිටින දක්‍ෂ ගොවියෙකි. එමෙන්ම හරකුන් ඇති කරන්නේ දැඩි ඇල්මකිනි. ඔවුනට සලකන්නේද දරුවන්ට මෙන්ය. මේ ගොවියාගේ ගව පට්ටියේ වයෝවෘද්ධ ගවයකු සිටියේය.

 මස් කඩහිමියකු පැමිණ ගවයා රුපියල් හැට දහසකට ඉල්ලීය. කුඩා කළ පටන් තමන්ගේ ගොවිතැනට උදව් කළ ගවයා මසට විකිණීමට මේ ගොවිරාල කැමති වූයේ නැත. තමන්ගේ අභිප‍්‍රාය ඉටු නොවූයෙන් මස්කඩ හිමියා ගියේ කිසියම් යටි අරමුණක් ඇතිවය.

දින දෙකතුනක් ගතවිය. සැන්දෑවේ බලනවිට කුඹුරේ බැඳ සිටි ගවයා අතුරුදන්ය. පියා ගවයා සොයන්නට වූයේය. එදින උදේ තම පුතු තවත් අයකු හා එක්ව ගවයා ලොරියකට පැටවූ බවට තොරතුරු දැනගන්නට ලැබිණි.

රුපියල් හැටදහසකුත් අතට ගත් පියා මස් කඩයෙන් කඩයට ගියේ පුතා විකුණා ඇති බව කියන ගවයා නිදහස් කර ගන්නටය. එහෙත් ඔහු ප‍්‍රමාද වූවා වැඩිය.

ඔහුට ලැබුණේ තම ගවයාගේ හම පමණි. මස් ටික විකුණා අවසන්ය. තම පුතු ගවයා විකිණුවේ රුපියල් 30,000ට බවද පියාට එහිදී දැනගන්නට ලැබුණි.  

හැඩූ කඳුළින් යුතුව පියා නිවෙසට ආවේ කරකියා ගත  හැකි දෙයක් නැතිවය. පියා සියල්ල දැනගත් නිසා පුතාද මේ වනවිට නිවෙසින් පිටව වෙසෙන අතර මේ හොරකම ගැන පුතාට විරුද්ධව පොලීසියට පැමිණිලි කළත් වැඩක් නැති නිසා පියා තවමත් කම්පාවෙන් සිටිනවාලූ.