කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
මේ පියා ඉන්නේ සැදෑ සමයේය. පුතකුගේ සහ දුවකුගේ පියෙකි. පුතා විවාහකය. දුව අවිවාහකය. ඇය ගුරුවරියකි. ගුරු දියණියට විවාහයක් කර ගන්නට ඉඩදී නැත්තේ මේ පියාය. මේ නිවසේ දැන් සිටිනුයේ පියා සහ ගුරු දියණිය පමණි. පුතා සිය භාර්යාව සමග වෙනත් නිවසක පදිංචිව සිටී.
පියා සමග දුව සිය නිවසේ කාලය ගත කළේ සතුටින් නම් නොවේ. පියා ඇයට පල නොකියා පලා බෙදුවේය. ඔවුන් දෙදෙනා හරියට මාමණ්ඩියයි ලේලියයි මෙනි. එනමුත් මේ පියා පුතාගේ භාර්යාව හෙවත් ලේලියට සැලකුවේ දුවෙකුට මෙන්ය.
ගුරු දියණියට සිය පියාගෙන් කරදර එන්න එන්නම වැඩිවිය. ඇය සැමදාම පාහේ පාසලට ගියේ සතුටින් නම් නොවේ. අඬ අඬාය. පියාගේ අඩම්තේට්ටම් මැදය. මේ වාතාවරණය මැද ගුරු දියණිය සිය පියාගෙන් පහර කෑ වාර අනන්තය. එහෙත් ඇය තමන් හරිහම්බ කරගත් දෙයින් පියාට කන්න දුන්නාය. ඔහුට ලෙඩක් දුකක් හැදුණත් බෙහෙත් ටිකද අරන් දුන්නාය. කාලය කෙමෙන් ගෙවී යමින් තිබිණ. පියා ගුරු දියණියට නිතරම කීවේ සිය නිවසින් යාමටය. ඔහුගේ සටනත් ඒ වෙනුවෙන්ය. එහෙත් දුව පියා හැර නොගියාය. ඒ තමා මෙලොවට බිහි කිරීමට දායකවූ පියා රැක බලා ගැනීමේ ඒකායන අරමුණු ඇතිවය. තමා පියා හැර ගිය හොත් මවත් නැති නිසා ඔහු තනිවේයයි සිතුවාය.
මේ පිය දියණි ගැටුම එන්න එන්නම උග්‍ර විය. අන්තිමේදී දුව පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැමුවාය. ඒ තමාට පියා නිවසින් යන ලෙස කිය කියා පහර දෙන බව කියමිනි. ඇය පොලීසියට පැමිණිලි කළේ ද මෙයට මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබූ නිසාය. ඊට විකල්පයක් නොතිබූ නිසාය.
ගුරු දුවගේ පැමිණිල්ලට අනුව මේ පියා පොලීසියට කැඳවිණ. පොලීසිය ඔහුගෙන් ඇසුවේ මේ පැමිණිල්ල දමා ඇත්තේ ඔහුගේම දුවද අසමිනි. ඔහු එය සනාථ කළේය. ලොකු උන්නැහේ මොකද මේ තමන්ගේ දුවව නිවසින් පන්නන්න හදන්නේ යයි පොලීසිය ඔහුගෙන් ඇසුවේය
ඔහු කිසි බයක් සැකක් නැතිව කීවේ තමන්ගේ දුව නිවසින් පන්නලා ඒ නිවස තමාගේ ලේලියට ලියා දීමට කියාය. මේ විභාගය කළ පොලිස් නිලධාරීහු එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. තමන්ගේ දුව නිවසින් පන්නලා ලේලියට නිවස ලියා දෙන්න හදන අපූරු තාත්තා කෙනෙක් ගැන ඇහුවේ පළමු වරට බව පොලිස් නිලධාරීහු කීහ. කොතෙක් කරුණු පොලීසිය පැහැදිලි කර දුන්නත් මේ පියාගේ තීරණය එයම නිසා දැනට විසඳුමකින් තොරව එම පැමිණිල්ල තවම තිබේ.