පැමිණිල්ලක් විභාග කරන්න 2000ක් ඉල්ලලා


(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකු පැමිණිලිකරුගේ බිරියගෙන් රුපියල් දෙදහසක් ඉල්ලා එය නොලැබුණු තැන ඔවුන්ගේ වෙළෙඳ සලෙන් පැපොල් ගෙඩියක් හා මඤ්ඤොක්කා අල දෙකක් රැගෙන ගොස් මුදල ඉල්ලුවේ විහිළුවට බව පැවසූ පුවතක් කොළඹට නුදුරු පොලිස් වසමකින් පසුගියදා වාර්තා විය.


 විශාල දේපළක් හිමි රෝගී අවිවාහක කාන්තාවකගේ දේපළ ආරවුලක් සම්බන්ධයෙන්  පසුගිය පළමුවැනිදා කරන ලද පැමිණිල්ලකි.  පැමිණිල්ල විභාගයට පැමිණියේ දින දහ හතරකට පසුය. පැමිණිලිකරු නිවසේ නොවීය. පොලිස් නිලධාරියා කරුණු විමසුවේ පැමිණිලිකරුගේ බිරියගෙනි. ඇය සිටියේ එළවළු හා පලතුරු වෙළඳාමේ නිරත වෙමිනි.


රුපියල් දෙදහසක් ඕනෑ. ඔහු කාන්තාවට කීය. සල්ලි දැන් අතේ නැහැ. ඇය කීවාය. නිලධාරියා ආපසු ගියේ විශාල පැපොල් ගෙඩියක් හා මඤ්ඤොක්කා අල දෙකක් රැගෙනය.


නිවසට ආ සැමියා හා දියණිය මේ බව දැනගත් පසු පොලිස් නිලධාරියාට දුරකතන ඇමතුමක් ගෙන මුදල් ලබා ගැනීමට ආරාධනා කළෝය. ඇමතුම පටිගත කෙරිණි. දියණිය තොදොල් වෙමින් මේ බව පවසද්දී ඔහු විහිළුවට යැයි කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ ගත්තේය. ඒ වුණාට ඔයා එළවළු පලතුරු අරන් ගියානේ කියද්දී ඔහු ඒ බව පිළිගත්තේය. මෙසේ ඇමතුම් කීපයක් හුවමාරු විය. 


අනෙක් පාර්ශ්වයෙන් කළ පැමිණිල්ල විභාගයට පළමු දිනයේම පැමිණීමත් තමන්ගේ පැමිණිල්ල විභාගයට පැමිණීමට දින දහ හතරක් ගතවීමත් ගැනද ප්‍රශ්න කෙරිණි.  කොරෝනා නිසා ප්‍රමාදවූ බව පොලිස් නිලධාරියා කීය. අන්තිමේ මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරින්ට දන්වන බවට කෙරුණු ප්‍රකාශයකින් පසු පොලිස් නිලධාරියා නිහඬවී ඇත.